2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

වඳුරු දැරිය

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 490

වඳුරන් සමඟ වාසය කර ඇති බවට විශ්වාස කෙරෙන දැරියක් උතුරු ඉන්දියාවෙන් හමුව තිබේ. දැන් ඉන්දීය පොලිසිය අතුරැදහන් වූ දරුවන්ගේ ලැයිස්තු පිරික්සමින් එම දැරියගේ අනන්‍යතාව හඳුනා ගැනීමේ උත්සාහයක නිරත වී සිටියි. දැරියට කතාබස් කිරීමට නොහැකි බව පවසන වෛද්‍යවරු ඇය තුළින් වඳුරන්ට සමාන ගති ලක්ෂණ පිළිබිඹුවන බවත් කියා සිටිති.

ඇය වඳුරු රංචුවක් සමඟ කෙළිසෙල්ලම් කරමින් සිට ඇති බව වාර්තා වී ඇත. දැරිය බේරාගැනීමට පොලිසිය එහි ගිය අවස්ථාවේ ඇය වඳුරන්ගේ හැසිරීම අනුකරණය කරමින් සිට තිබේ. ඇය වඳුරන්ට සමාන හඬ නගමින් අත් සහ පාදවලින් ඇවිදිමින් සිටි බවත් වාර්තාගත වේ. දැරිය, ඉන්දීය නේපාල දේශසීමාවේ පිහිටි කතර්නියාගන් අභයභූමියට නුදුරු ගම්මානයක වැසියන්ගේ ඇස ගැටී තිබෙන අතර ඇය රැගෙන යාමට පැමිණි පොලිස් භට කණ්ඩායමද වඳුරු රංචුවේ ප්‍රහාරයට ලක්ව තිබේ.

දැරිය රෝහල වෙත රැගෙන එනවිට ඇය මන්දපෝෂණයෙන් පෙළෙමින් සිටි බව කියා සිටි වෛද්‍යවරුන් ඇයගේ නිය සහ හිස කෙස් දිගට වැවී තිබූ බව සඳහන් කළහ. ඇයගේ සිරුරේ තුවාල තිබුණු බවත් වෙද්‍යවරු පවසති. මේ වනවිට දැරියගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් හොඳ අතට හැරී ඇති අතර ඇය ළමා සුබසාධක ආයතනයකට භාරදෙනු ලැබීමට නියමිතය.

මේ දැරිය සහ ජන්ගල් බුක් ළමා කතන්දර මාලාවේ සිටින මොව්ග්ලි ළමා චරිතය සංසන්දනය කරමින් බොහෝ ඉන්දියානුවෝ අදහස් පළ කරති. රැඩ්යාඩ් කිප්ලින් විසින් රචිත ජන්ගල් බුක් කතාන්දරයේ මොව්ග්ලි නමැති කුඩා දරුවා හදා වඩා ගනු ලබන්නේ වෘක රංචුවක් විසිනි. දැරිය කොපමණ කලක් වනයේ ගත කර ඇද්ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.