2021 ජනවාරි 16 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගේ අන්තිම තුරුම්පුවත් පරාදයි!

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

 ජනතාව උසි ගන්වමින් සිදුකළ මෙ අයථා හැසිරීම හේතුවෙන් ගෙදර යන්නට ඔන්න මෙන්න කියා සිටි ට්‍රම්ප්ට දෝෂාභියෝගයකටද මුහුණ දෙන්නට සිදුවිය. මෙය අමෙරිකාවේ ජනාධිපතිවරයෙක් බලයේ සිටියදී පිට පිට දෙවතාවත් දෝෂාභියෝගයකට ලක්වූ ප්‍රථම අවස්ථාවයි. මුල් අවස්ථාවේ සිය දාම බේරාගත්තද මෙවර ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාජය විය.

දෝෂාභියෝග ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් මන්ත්‍රීවරැන් 10 දෙනෙකුද ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයකි. මන්ත්‍රීවරැන් 4 දෙනෙකු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇත. ඡන්ද 232ට 197ක් ලෙසින් ට්‍රම්ප් පරාජය විය.
කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණු විරෝධතාකරැවන්ට අනුබල දීමේ චෝදනා මත මෙම දෝෂාභියෝගය ගොනු කෙරැණි. දැන් එම දෝෂාභියෝගය සෙනෙට් සභාව වෙත යොමු කෙරෙනු ඇත. එම කටයුතු ලබන 20 වැනිදා ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වූ පසු ක්‍රියාත්මක කිරීමට නියමිතය. පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජයගත් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්‍ෂක ජෝ බයිඩන් මෙම ජනවාරි 20 දින නව අමෙරිකානු ජනාධිපතිවරයා පදවිය සඳහා දිව්රැම් දීමත් සමඟ රිපබ්ලිකන් පාක්‍ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් ඉවත්ව යා යුතුව ඇත. සිය පදවිය දැරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව ඇති ඉතිරි දින කීපය ඔහු පදවියෙන් නෙරපා හරිනු ලැබීමේ ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොවන නමුත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි ඇතුළු ඩිමොක්‍රටික් පාක්‍ෂික මහජන නියෝජිතයන්ගේ තර්කය වී තිබෙන්නේ ජනවාරි 06 දින කොංග්‍රස් මණ්ඩලයට එල්ලකෙරුන ප්‍රහාරයේ වගකීම ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පැවරෙන බවය. එම ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාව වී තිබෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාට එරෙහිව තහංචි පනවමින්, වෙනත් හිටපු ජනාධිපතිවරුන් විසින් භුක්ති විඳිනු ලබන වරප්‍රසාද ඔහුට අහිමි කිරීම සහ අනාගතයේදී ඇමෙරිකානු පාලනයේ කිසිදු පදවියක් දරනු ලැබීමට ඔහු සුදුසු නොවන චරිතයක් බවට පත්කරනු ලැබීමය. ඒ අනුව ට්‍රම්ප්ට ගෙදර යාමට සිදුව ඇත්තේ ඉතිහාසයේ පරාජිත චරිතයක් ලෙස නොමැකෙන සටහනක් තබමිනි. සියලු වරප්‍රසාද අහිමිවන ට්‍රම්ප් පිළිගැනීමට ලකලෑස්ති වී සිටින්නේ නඩුහබ ගණනාවකි.  ලෝකයටම ණයකාරයකු  වී  ගෙදර යන ට්‍රම්ප් අමෙරිකාව තුළ මේ වනවිට කැපී පෙනෙන බෙදීමක්ද ඇතිකර  හමාරය.

 

සංස්කරණය: 
සුගත් පී. කුලතුංගආරච්චි