2021 ජනවාරි 09 වන සෙනසුරාදා

අමෙරිකාව හොල්ලා දැමූ ට්‍රම්ප් කැරැල්ල!

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

අමෙරිකාවේ  ප්‍රජාතන්ත්‍රවාදය හෙල්ලුම් කෑවේය. අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් එක්වූයේය. අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසින් ලෝක සම්භාවනාවට ප්‍රාප්ත වූ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කෝප වූ අමෙරිකානුවන් බුරුතු පිටින්  කඩාවැදී ඩෙඟා නැටීමත් සමඟිනි‍. දැන්  අගනුවරට  දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශකර තිබේ. අමෙරිකාව හොල්ලා දැමු ට්‍රම්ප් කැරුල්ල  නිසාය.

තමන් පරාජය වූයේ නැති බවත් අමෙරිකානුවන්ගේ ඡන්දය කොල්ලකෑමට ලක්වූ බවටත් දිගින් දිගටම චෝදනා කරමින් සිටි ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කොංග්‍රස් රැස්වීමක් පැවැත්වෙන අතරම කැපිටල් ගොඩනැඟිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී සිදුකළ විරෝධය මැඬපැවැත්වීමට පොලීසියට වෙඩි තැබීමටද සිදුවිය. ඒ හේතුවෙන් කාන්තාවක් ඇතුළු  සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. 52ක් අත්අඩංගුවට ගැනිණි.

ඒ අනුව මේ වනවිට වොෂින්ටන් නුවරට ඇඳිරිනීතිය පනවා දින 15ක හදිසි තත්ත්වයක්* ද ප්‍රකාශයට පත්කර තිබේ. අමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන්ගේ ජයග්‍රාහී ප්‍රතිඵලය තහවුරැකිරීමේ අවස්ථාව වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල තුළ පැවැත්වෙමින් තිබියදී ජනාධිපති ට්‍රම්ප්ගේ හිතවාදීන් විසින් විරෝධතාවක් සංවිධාන කර තිබුණි.

එම අවස්ථාවේ අවිගත් විරෝධතාකරැවන් බලහත්කාරයෙන් කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වී එහි පාලනය සියතට ගැනීමට උත්සාහ කළහ. අවිගත් විරෝධතාකරුවන් එහි දේපළවලටද හානිකර තිබුණි. කතානායක නැන්සි පෙලොසිගේ කාර්යාලයටද කඩාවැදී එහි එල්ලා තිබූ පින්තූර ඇද දමා කතානායක මේසයමතටද නැඟ ගොඩනැඟිල්ල පුරා විනාශය සහ භීතිය පැතිර වූහ. ඔවුන් ප්‍රචණ්ඩ ලෙස හැසිරීමත් සමඟ තත්ත්වය පාලනය සඳහා පොලීසිය රබර් උණ්ඩ ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ගත්තේය.

ජනාධිපතිවරණ පරාජය පිළිගෙන සාමාකාමීව බලය හුවමාරුකිරීමට ජනාධිපති ට්‍රම්ප් අකමැත්ත පළකිරීම මෙසේ එරට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගීමට ඉවහල් වී තිබුණි. ජනාධිපතිවරණයේදී ජෝර්ජියා, පෙන්සල්වේනියා, නෙවාඩා, මිචිගන් හා ඇරිසෝනා ප්‍රාන්ත ජයගැනීමට ජෝ බයිඩන් සමත් වූ අතර එය අභියෝගයට ලක්කරමින් රිපබ්ලිකන් පක්ෂය විසින් එරට කොන්ග්‍රසය හමුවේ ගොනුකර තිබූ විරෝධතා සම්බන්ධව මෙදින විවාදය පැවැත්වීමට නියමිතව තිබුණි.
පැවැති විරෝධතා හේතුවෙන් ඊට බාධා වුවත් පොලිසිය මැදිහත් වී විරෝධතාකරැවන් කැපිටල් ගොඩනැගිල්ලේ සභා ගර්භයෙන් සම්පූර්ණයෙන් ඉවත්කිරීමෙන් පසු සභාවාරය යළි ආරම්භ කැරිණි. දැඩි රැකවල් මධ්‍යයේ යළිත් කොංග්‍රසයේ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් පසු උප ජනාධිපති මයික් පෙන්ස් විරෝධතාකරැවන්ගේ හැසිරීම දැඩිව විවේචනය කළේය.

එදින විවාදයෙන් පසු, ඡන්ද විද්‍යාල අවසන් ප්‍රතිඵල නිකුත්කිරීම වළක්වමින් ඉදිරිපත්ව තිබූ සියලු විරෝධතා නිෂ්ප්‍රභා කිරීමට කොංග්‍රස් සභාව තීන්දු කළේය. ඉන් අනතුරැව, තේරීපත්වූ ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇති වූ විරෝධතා මාලාව හුදු විරෝධයක් නොව කැරැල්ලක් බවය. අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙසින් ජෝ බයිඩන් එළැඹෙන ජනවාරි 20 වැනිදා කැපිටල් ගොඩනැගිල්ලේදී දිවුරැම් දීමට නියමිතය.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වොෂින්ටන් අගනුවරට ඇඳිරිනීතිය පනවා ඉදිරි දින 15 සඳහා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කරනු ලැබීය. 

ඒ අනුව නව ජනාධිපතිවරයා දිවුරැම් දෙනතුරු නගරයට හදිසි තත්ත්වය බලපැවැත්වෙනු ඇත. ට්‍රම්ප් ජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදුකර රට පටලන බව පවසමින් ජනාධිපති ට්‍රම්ප්ගේ සමාජ ජාල ගිණුම් තාවකාලිකව අවහිර කිරීමට ෆේස්බුක් හා ට්විටර් ආයතන පියවර ගනු ලැබීය.

මේ අතර තම විශිෂ්ට ධුරකාලය අවසන් කරමින් ලබන ජනවාරි 20 වැනිදා ධුර‍යෙන් ඉවත්වන බව ජනාධිපති ට්‍රම්ප් නිවේදනයක් කර තිබේ. එසේම අමෙරිකාවේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ තමන් දැඩි අවධානයෙන් පසුවන බව ලෝක නායකයින්ද පවසා තිබේ. කෙසේ වුවද අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් සහ කමලා හැරිස් එරට ජනාධිපති සහ උප ජනාධිපති ලෙස කොංග්‍රසය විසින් දැන් සහතික කර ඇත. ඒ අනුව ට්‍රම්ප් කැරුල්ල අසාර්ථකව අවසන් වෙද්දී අමෙරිකාවට නව යුගයක් උදාවී තිබේ.

 

සංස්කරණය: 
සුගත් පී. කුලතුංගආරච්චි