2021 ජනවාරි 02 වන සෙනසුරාදා

2020 මතක සටහන්

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

2020 හැඳින්විය හැකිව ඇත්තේ මෑත මානව ඉතිහාසයේ දරුණුතම වසංගතයට ගොදුරු වූ වසර හැටියටය. ජනවාරි අවසන් සතිය වනවිට ලෝකය පුරා රටවල් 18කින් කොවිඩ් ආසාදිතයන් 7818ක් වාර්තා වූ අතර එය කෙතරම් වේගයෙන් පැතිර ගියේද යත්, අප්‍රේල් මුල සතිය වනවිට මහාද්වීප 6ක රටවල් 171ක පැතිර යමින් දස ලක්ෂයකට වැඩි ආසාදිතයන් පිරිසක්ද 51,000කට වැඩි මරණ සංඛ්‍යාවක්ද වාර්තා කළේය. මේ වසර පුරාම ලෝකය කැළඹූ ප්‍රධාන සංසිද්ධිය වූයේ කොරොනා වසංගතයයි. වසර අවසාන වනවිට එන්නත් 5ක් ගැන විශ්වාසය ලොවපුරා පැතිර යද්දී අලුත්ම ආකාරයට වෙනස් වූ වඩා හානිකර වෛරස මාදිලියක් පැතිර යන්නට විය. ලෝකයේ අනෙකු සියලුම කුදු මහත් කටයුතු සිදුකෙරුණේ මේ කොරෝනා භීතිකාව මැදය. ඒ අතර විද්‍යා තාක්ෂණික ජයග්‍රහණ රැසක්ද විය. විශිෂ්ටයන් රුසක්ද ලොවෙන් සමුගත්හ.

 යෝධ අන්තර්ජාල චන්ද්‍රිකා ජාලයක්

මහ පොළොව වටා ගමන් ගන්නා චන්ද්‍රිකා 12000කින් සමන්විත සබඳතා ජාලයක් මගින් අධිවේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදෙන්නට ප්‍රධාන පෙළේ වාණිජ අභ්‍යවකාශ කොම්පැණියක් වන SpaceX සැලසුම්කර තිබුණේ කලෙක සිටය. ලෝකයම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් තැතිගෙන සිටිද්දී SpaceX සමාගම වාර්තා පිට වාර්තා තබමින් තමන් ඇරඹූ අභ්‍යවකාශ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ක්‍රියාකළේ අප්‍රේල් මාසයේදී මේ ව්‍යාපෘතියට අයත් අලුත්ම චන්ද්‍රිකා 60ක් උඩුගුවනට යැවීමත් සමගිනි. මෙම නවතම සන්නිවේදන ජාලයට අයත් මුල් චන්ද්‍රිකා 60ක් 2019 මැයි වනවිට පෘථීවි කක්ෂයට යවා අවසන්ව තිබුණි. අවස්ථා 24කදි චන්ද්‍රිකා 60 බැගින් උඩුගුවනට යැවීම ඔවුන්ගේ සුදානම විය. 2020 අග වනවිටදී මේ චන්ද්‍රීකා ජාලයට අයත් ඉතිරි තොගයද උඩුගුවනට යවන්නට ඔවුන් සමත්ව ඇත.

 ජපානයෙන් යෝධ රොබෝවක්

ජපානයේ යොකොහාමා නගරයේදී මුල්වරට දැවැන්ත රොබෝවක් දකින්නට ජනතාවට හැකිවිය. එය ජීවමාන මිනිසෙක්ගේ හැඩරුව දරන්නකි. අඩි 60ක් පමණ උසැති සහ බරින් ටොන් 24ක් පමණ වන මෙම රොබෝව වානේ සහ කාබන්-ෆයිබර් ප්ලාස්ටික් මිශ්‍රණයක් යොදාගෙන නිර්මාණය කර තිබූවකි. ඒ සඳහා කොටස් 200ක් පමණ එක්කර ඇත.

 අලුත් ජීවය සොයා සිකුරුට ගමනක්

සිකුරුගේ වායුගෝලය තුළින් ජීවය පිළිබඳ හෝඩුවාවක් ලැබුණේ ඉකුත් වසරේදීය. එහි වායුගෝලය තුළ ජීවය ඇති තැන්වල දක්නට ලැබෙන බව කියන පොස්පීන් වායුව ඇති බව වාර්තා වීමත් සමගිනි.
දැන් මේ නිසාම සිකුරු මත ජීවය සොයා යෑමේ හදිසි මෙහෙයුම් සඳහා නව ජීවනයක් ලැබී හමාරය. කැලිෆෝනියාවේ පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම් ආයතනයක් සිකුරු බලා යන්නට ලහිලහියේ සූදානම්ව සිටියි. සියල්ල ඔවුන්ගේ පැලෑනට අනුව සිදු වුණොත් 2023 දී සිකුරු ජීවය සොයා යන ගමන පිටත් වන්නට හැකිවනු ඇත.

 අහසින් යන දොස්තරවරු

අහසින් යන මුල්ම දොස්තර සිය මංගල පියාසර ඇඳුමෙන් සැරසී එංගලන්තයේ ලේක් දිස්ත්‍රික්කයේ ග්‍රේට් නොර්ත් පළාතේ අහසින් ගමන් ගත්තේ ඉකුත් ඔක්තෝබරයේදීය. පා ගමනින් පවා ළඟාවීම අතිශය දුෂ්කර උස් කඳු ශිඛර ප්‍රපාතකාරී බෑවුම් වැනි දුගම ස්ථාන කරා ඉතා ඉක්මණින් හදිසි අනතුරකදී ආධාර රුගෙන අහසින් යන්නට මේ අලුත් ඇඳුම නිසා හැකියාව ලැබේ.

 උඩුගුවනට ගිය මුල්ම ටැක්සිය

නාසා ආයතනය සමග ස්පේස් එක්ස් අභ්‍යවකාශ සවාරි ආයතනය වාණිජ මට්ටමේ උඩුගුවන් සංචාරක ටැක්සි සවාරි ඉකුත් වසර අගදි  නමෝවිත්තියෙන්ම ඇරඹුවේය. එම  ඓතිහාසික ගමන ගිය සංචාරක පිරිස  හැඳින්වුණේ ස්පේස් එක්ස් මුල් සංචාරක පිරිස හෙවත්, - SpaceX Crew-1, හැටියටය. ලෝකයේ මුල්වරට නාසා අභ්‍යවකාශගාමීන් 3 දෙනකු සහ ජපාන අභ්‍යවකාශගාමියෙකු සාර්ථකව උඩුගුවනට රැගෙන යමින් මේ වාණිජ  සංචාරක ගමන් වැඩපිළිවෙළ නාසා ආයතනය සමග ස්පේස් එක්ස් අරඹන්නට යෙදුණි.

 පිටසක්වලකින් පස් ගල් රැගෙන ආ මුල්ම රට

මහ පොළොවට පිටසක්වලකින් පස් ගල් රැගෙන ආ මුල්ම රට බවට පසුගිය වසරේදී ජපානය පත්විය. ඔවුන්ගේ හයබුසා 2 රොබෝ යානය රිගුයු නම් ග්‍රාහකය මතින් පාෂාණ සාම්පලයක් රුගෙන ඒමත් සමගය. මේ සමග ලෝක අභ්‍යවකාශ තරගයේ ජපානයටද කැපී පෙනෙන තැනක් ලැබී හමාරය. දැන් ජපානය තමන්ගේ මීළඟ එල්ලය ලෙස තෝරාගෙන ඇත්තේ අඟහරුගේ හඳකි. අඟහරුගේ පෝබෝස් හඳට ගොස් එයින් කැබැල්ලක් රුගෙන ඒම දැන් ඔවුන්ගේ මීළඟ ප්‍රයත්නයයි.


 මුල් පිටුව පුරා යෝධ මරණ දැන්වීමක්!

ලොව පත්‍රකලා ඉතිහාසයේ මුල්ම වතාවට පුවත්පතක මුල්පිටුව පුරාම තනි මරණ දැන්වීමක් පළවූයේ ඉකුත් වසරේදීය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 100,000 ළඟාවීමත් සමඟිනි. මේ ඉතිහාසගත මරණ ගණන වාර්තා වූ 2020  මැයි 24 වැනිදා සිය පුවත්පතේ මුල්පිටුව මුළුමනින්ම අවමංගල්‍ය දැන්වීමක් බවට පත් කිරීමට එරට ‘ද 
නිව් යෝක් ටයිම්ස්’ පුවත්පත පියවර ගෙන තිබුණි. එක් තීරුවකින් මරණ 1,000ක් නිරෑපණය වන පරිදි මියගිය සියලුදෙනා සිහිපත් කරමින් මෙම පිටුව සකස් කළේ යැයි එම පුවත්පත සඳහන් කර තිබුණි. 

 පුලිට්සර් දිනූ අමුතු සේයාරුව!

අන්තර්ජාතික පිළිගැනීමක් සහිත පුලිට්සර් සම්මාන ප්‍රදානය පසුගිය වසරේ  පැවැත්වුණේ ඔන්ලයින් ක්‍රමයටය. එහිදී අමුතු සේයාරුවකට හොඳම සේයාරුවට හිමි සම්මානය ලැබුණි.
කොවිඩ් 19 වසංගතයෙන් බේරෙන්නට මුහුණ ඇඟපත හොඳින් ආවරණය කරගත් කාශ්මීර විරෝධතාකරුවෙකුගේ ප්‍රචණ්ඩත්වය හොඳින් නිරෑපනය කෙරෙන “කැප්ෂන් ඕනෑ නැති” ආකාරයේ කතාකරන මේ සේයාරුව ඒ.පී. ආයතනයේ කාශ්මීර ඡායාරෑප මාධ්‍යවේදී ඩාර් යාසීන්ගේ වික්‍රමයකි.

ලොවපුරා ගුවන් අනතුරු රැසක්!

පසුගිය වසර ගුවන් ගමන්වලට අපල කාලයකි. අනතුරු ගණනාවක්ම එකපෙළට වාගේ හටගත්තේය. වසර ඇරැඹුණේ ලංකාවේද ඛේදවවාචකයක් ගැන ආරංචියත් සමඟිනි. ගුවන් හමුදා යානයක් කඩාවැටී එහි කාර්යය මණ්ඩලයේ 4 දෙනාම මියගිය පුවත රට කැළඹුවේය. ඒ අතර අලුත්ම ආරංචිය ආවේ ඉරානය දෙසිනි. ටෙහෙරානයෙන් ගුවන් ගතකළ යුක්රේනයට අයත් මගී යානයක් විනාශ වී යාමය. එයට ඉරාන මිසයිලයක්ම වගකිවයුතු බව සනාථ වී තිබේ. මියගිය ගණන කාර්ය මණ්ඩලයද සමග 176කි.

වසර මුලදීම සුඩාන මිලිටරි යානයක් ඉහළට නංවන අවස්ථාවේදී කඩා වැටීමෙන් එහි සිටි මගීන් 18ක් මියගිය අතර කුඩා දරුවන් 4 දෙනෙක්ද ඒ අතර වූහ. මේ අතර බෝයිං සමාගම තැනූ මුල්ම අභ්‍යවකාශ ටැක්සිය නමෝවිත්තියෙන් මානවරෑපී රොබෝවක් සමගින් උඩුගුවනේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යන්නට ගිය ගමන වැරදී යාන්තම් නියමිත දිනට කලින් නිරුපද්‍රිතව ගොඩබාගන්නට හැකිවිය. ඒ අතර අලුත්ම ශෝකජනක වාර්තාව පැමිණියේ පැරීසියෙනි. අයිවරි කොස්ට් සිට පැමිණි යානයක පහළ රෝද කුටියේ සැඟව ආ දස හැවිරිදි දරුවෙකුගේ සීතලෙන් ගල් වූ  සිරුරක් හමුවීමත් සමඟිනි.

 තායි ගුවන් අනතුර

මහා මැතිවරණයක් ආසන්නව තිබියදී තායිවානයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ෂෙන් යී මින් ඇතුළු හමුදා සාමාජිකයින් 08 දෙනෙකු ගුවන් අනතුරකින් මියගියහ. ඔවුන් ගමන් ගත් හෙලිකොප්ටර් යානය එරට තායිපේ නුවරට ආසන්න යීලාන් නමැති කඳුකර ප්‍රදේශයකට කඩා වැටීමෙන් අනතුර සිදුවිය. යානයේ ගමන් කළ තවත් හමුදා සාමාජිකයින් 05 දෙනෙකු තුවාල ලබා ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බ්ලැක් හෝක් වර්ගයට අයත් මෙම යානයේ 13 දෙනෙක් සිටි බව වාර්තා වේ.

 ගුවන් යානයක් 3ට කැඩෙයි: 157කගෙ දිවි ගැලවෙයි

ද පෙගසස් ගුවන් සමාගමට අයත් මගීන් 171 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හයදෙනක් රුගත් බෝයිං 737 ගුවන් යානාවක් තුර්කියේ ඉස්තාන්බූල්හි සබීහා ගෝක්සන් ගුවන්තොටුපොළේ ගොඩබැස්වීමට ගත් උත්සාහයක් අතරතුර අනතුරට පත්ව තිබුණි. එම අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළුව යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 177කි. ඉන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. මේ බෝයිං 737 වර්ගයේ යානාව අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ කලාපයේ දැඩි වර්ෂාපතනයක් මෙන්ම සුළං තත්ත්වයක්ද පැවැතී ඇත.

 පිලිපීනයේ ගුවන් අනතුර

පිලිපීනයේ ජාතික පොලිස් ප්‍රධානී ජෙනරාල් ආචී ගැම්බෝවා සහ තවත් 7 දෙනෙකු රුගත් හෙලිකොප්ටර් යානයක් ලගුනා පළාතේ සැන් පේද්‍රෝ නගරයේදී කඩා වැටී අනතුරට පත්විය. අනතුරින් පොලිස් ප්‍රධානී ගැම්බෝවා සුළු තුවාල ලබා දිවි ගලවා ගැනීමට සමත්වී තිබුණි.

 තුර්කි ඔත්තු යානයක් කඩා වැටෙයි

ඔත්තු බැලීමේ ගුවන් යානයක් තුර්කියේ කඳුකර ප්‍රදේශයකදී කඩා වැටීමෙන් ආරක්ෂක නිලධාරීන් හත්දෙනකු ජීවිතක්ෂයට පත්විය. තුර්කියේ නැගෙනහිර වෑන් ප්‍රදේශයේ මෙම අනතුර සිදුව තිබුණි. ගුවන් යානයේ ගමන් ගත් සියලුදෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට සැක කෙරෙයි.
2020 ලෝකයෙන් සමුගත් විශිෂ්ටයෝ !

 කොරෝනා බිලිගත් කීර්තිමත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයා

අමෙරිකා එක්සත් ජනපදයේ කිර්තිමත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වූ වෛද්‍ය ජේම්ස් ටී. ගුඩ්රිච් Covid 19 වසංගතයේ බිල්ලක් බවට පත්විය. ඔහු මොළයේ සැත්කම් පිළිබඳව ජගත් කීර්තියක් හිමිකර ගත් තැනැත්තෙකි. වෛද්‍ය  ජේම්ස් 2016 නිව්යෝර්ක් හි Bronx ළමාරෝහලේදී හිසින් බද්ධ වී සිටි Jadon සහ Anias McDonald නම් දෙබිඩි නිවුන් දරුවන් සාර්ථක ලෙස වෙන් කිරීමේ ඓතිහාසික සැත්කම සිදුකළ 40 ක් වූ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියාය.

 පරිගණකය සාමාන්‍ය මිනිසුන් අතරට ගෙනා ලැරී ටෙස්ලර්

පරිගණකය පරිගණකය භාවිතයේදී වඩාත් අවශ්‍යම විධානයන් වන Cut, Copy, Paste විධානයන් හඳුන්වා දෙමින් පරිගණකය සාමාන්‍ය මිනිසුන් අතරට ගෙන එන්නට මුල් වූ ලැරී ටෙස්ලර් වයස අවුරුදු 74ක්ව තිබියදි ලොවෙන් සමුගත්තේ ඉකුත් වසරේදීය.

 සඳතරණ මග සොයාදුන් කැතරින් ජොන්සන්

නාසා ආයතනයේ ප්‍රමුඛ සහ මුල්කාලීන ගණිතඥවරියක වූ අප්‍රිකානු ඇමරිකානු ජාතික කැතරින් ජොන්සන් වයස අවුරුදු 101 දී සිය ජීවිතයේ අවසන් සුසුම හෙලුවේ ගිය වසර මුලදීමය.
මුල්කාලීන මර්කරි සඳතරණ ව්‍යාපෘතියේ සිට ඇපලෝ වැඩසටහනත් එහි සඳමත මිනිස් පියසටහන තැබූ ඇපලෝ 11 ව්‍යාපෘතියේත්, පසුකාලීන අභ්‍යවකාශ ෂටල වැඩපිළිවෙළේ මෙන්ම මෑතක ඇරුඹුණු අඟහරු වැඩසටහන්වලද යානාවන්ට අඳුරු අභ්‍යවකාශයේ රුදුරු බොරු වළවල් මඟහැර නිරුපද්‍රිතව නිවැරදිව නිසි ඉලක්කය කරා යන්නට පහසුම මග සොයාදුන්නේ කැතරින්ය. 

 පැසිපන්දු තාරකාව කෝබි බ්‍රයන්ට්

සුපිරි පැසිපන්දු තාරකාවක් මෙන්ම පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටයෙක් ලෙස කීර්තියක් දිනා සිටි අමෙරිකානු ජාතික ක්‍රීඩක කෝබි බ්‍රයන්ට්, පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් කඩාවැටීමෙන් මියගියේය. ඔහුගේ දියණිය ඇතුළු තවත් අටදෙනෙකුද එම අනතුරින් මියගියහ. මෙම සිදුවීම ලොවපුරා ක්‍රීඩාලෝලීන් ඉතා සංවේගයට පත්කර තිබූ කාරණාවකි.  

 කොවිඩ්-19 බිලිගත් ඇමේසන් ගෝත්‍ර නායකයා

බ්‍රසීලයේ පරිසරය රැකගන්නට සටන් වැදුණු ගෝත්‍රික නායකයෙක්ද කෝවිඩ්-19 බිල්ලක් බවට පත් විය. මියයන විට 66 හැවිරිදිව සිටි මේ නායකයා මහා ඇමේසන් වන ගහණයට අයත් වූ කයාපෝ නමැති ඉපැරැණි මෙන්ම ප්‍රධානතම ගෝ‍ත්‍රයේ නායකයාය.

 දහවරක් එවරස්ට් නැග්ග හිම දිවියා

ලෝකයේ උස්ම මුදුන සහිත එවරස්ට් කන්ද 10 වරක් තරණය කළ පළමු පුද්ගලයා වන නේපාලයේ අන්ග් රීටා ශර්පා හෙවත් හිම දිවියා  මියගියේය. ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් 1983ත් 1996ත් අතර කාලයේදී දස වරක්  තරණය කිරීමට ඔහු සමත් වී තිබේ. ඔහු එම ගමන්වලදී ඔක්සිජන් බෝතල් භාවිත කර  නොමැතිවීම සුවිශේෂී දක්ෂතාවයකි. 

 කුවේටයේ රජු ෂෙයික් අල් සබා

කුවේටයේ රජු ෂෙයික් සබා අල් අහමද් අල් සබාද මියගියේය. කුවේටයේ එමීර්වරයා  ලෙස සැලකෙන ඔහු මිය යනවිට 91 වැනි වියෙහි පසුවිය. ජූලි මස සිට ඔහු අමෙරිකාවේ ප්‍රතිකාර ලබමින් සිටියේ කුවේටයේදී සිදුකළ සැත්කමකින් පසුවය. 2002 දී ඇපැන්ඩික්ස් සැත්කමකට මුහුණ දුන් ඔහුට 2004දී පේස්මේකර් උපකරණයක් සවි කෙරිණි. 2007 මුත්‍රා මාර්ගයේ සැත්කමකටද ඔහු මුහුණ පෑවේය. කෙසේ වුවද මරණයට හේතුව හෝ ඔහු මියගිය ස්ථානය පිළිබඳව තොරතුරු ප්‍රසිද්ධ කර තිබුණේ නැත.

 හොස්නි මුබාරක්

ජන අරගලයකින් බලයෙන් පහකළ ඊජිප්තුවේ හිටපු ජනපති හොස්නි මුබාරක්ද ඉකුත් වසරේ  අභාවප්‍රාප්ත විය. පාලනය අහිමි වූ මුබාරක් දූෂණ වංචා මිනීමැරුම් ආදී චෝදනා මත සිරභාරයට ගත්තේය. ඇප මත මුදාහැරුණු හොස්නි මුබාරක් ජීවිතයේ අවසන් කාලය ගෙවා දැමුවේ පිළිකා රෝගියෙකු ලෙසිනි.

 පාපන්දු පිටියේ පෙරුළිකාරයා - මැරඩෝනා

ලෝක පාපන්දු පිටියේ ප්‍රවාදගත විශිෂ්ටයකු වූ දියාගෝ මැරඩෝනාද හෘදයාබාධයකින් මිය ගියේය. ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිම පාපන්දු තරුවක වන දියාගෝ ඒ වනවිට සිය 60 වැනි උපන්දිනය සමරා මාසයකි.
පාපන්දු පිටිය තුළදී මෙන්ම ඉන් පිටතදීද හොඳට නරකට දෙකටම නම කියැවුණු මැ‍රඩෝනා කට කැඩිච්ච කතා ගැන ප්‍රකට විචිත්‍ර චරිතයකි. කෙතරම් චෝදනා පැවතියද මැරඩෝනා සමස්ත ලෝක පාපන්දු ලෝලීන්ගේම ආදරය දිනාගැනීමට සමත් වූ අපූරු චරිතයකි. ඔහු ගතකළේ වාර්තාපිට වාර්තා තැබූ ජීවිතයකි. කොකේන් මත සමඟ 12 වසරක් තනිව සටන් කර එයට තිත තැබූ වීරයෙකි.

 මහා දුරේක්ෂය කඩා වැටෙයි!

වසර 57ක් තිස්සේ තාරකා විද්‍යාත්මක නව සොයාගැනීම් රුසකට මඟසැලැසූ පුවර්ටෝ රිකෝහි පිහිටි ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටුණේ පසුගිය වසර අගදීය.
දුරේක්ෂයේ ඉහළින් පිහිටි ටොන් 900කින් සමන්විත උපකරණ කට්ටලය මීටර් 137ක පළලින් යුක්ත ඩිෂ් එක මතට කඩා වැටී ඇත. පෘථිවියේ පිහිටි ප්‍රබල දුරේක්ෂයක් වශයෙන් මේ උපකරණය සුළි සුළං, භූමිකම්පා සහ නිවර්තන කුණාටු රුසකට මුහුණ දෙමින් සේවය සැලැසීය. 1974 දී ඇරෙසිබෝ ගුවන් විදුලි දුරේක්ෂය මගින් M13 නමින් හැඳින්වෙන තාරකා 300,000 කින් සමන්විත තරු පොකුර වෙත ගුවන්විදුලි පණිවිඩයක් යවනු ලැබුවේ පිටසක්වල ජීවින් ඇත්දැයි දැනගන්නටය.

 වසර 10කට පසු බුරා පැන්න මිරාපි!

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද වසර 10කට පසු යළි සක්‍රීය වීය. ජූනි මස මුල අවස්ථා දෙකකදී ගිනිකන්දේ පිපිරීම් සිදුවිය. ඉන් නිකුත් වූ අළු මීටර් 6000ක් පමණ ඉහළට පැතිර ගොස් තිබුණි.
ලොව වඩාත් සක්‍රීය ගිනිකඳු අතරට අයත් වන මිරාපි ගිනිකන්ද සක්‍රීය වීමෙන් 2010 වසරේදී පුද්ගලයන් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණි. මෙවර ගිනිකන්දේ පිපිරීම් සිදුවීමත් සමඟ ඒ අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගත්හ. එමෙන්ම ඒ ආශ්‍රිතව ගුවන්ගමන් ද තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී ඇත.

 කැලිෆෝනියාවේ ගිනි සුළියක්!

මිහිතලයේ මෙතෙක් වාර්තා වූ අධිකම උෂ්ණත්වය අමෙරිකාවේ කැලිෆෝනියාවේ ඩෙත්වැලි ජාතික උද්‍යානයෙන් ඉකුත් වසරදී වාර්තා විය. අමෙරිකානු ජාතික කාලගුණ සේවා ආයතනය තහවුරුකර ඇති පරිදි එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130ක අගයකි.
මරණයේ මිටියාවත හෙවත් ඩෙත් වැලිය, උෂ්ණත්වය ඉහළ තාප තරංග සඳහා නම් දැරෑ ප්‍රදේශයකි. මීට පෙර මිහිතලයේ ඉහළම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේද ඩෙත් වැලියෙනි. සෙල්සියස් අංශක 54ක් වූ එම උෂ්ණත්වය වාර්තා වූයේ 2013 දීය. ශතවර්ෂයකට පෙර මෙම ප්‍රදේශයෙන්ම සෙල්සියස් අංශක 56.6 වාර්තා වූ බවට විවාදාත්මක මතයක්ද පවතී.

 යෝධ බුදුරුවේ පා සිපගත් චීනයේ මහා ගංවතුර!

දශක හතකට පසු පළමුවරට එනම් 1940 ගණන්වලින් පසු හටගත් දරුණුතම ගංවතුර තත්ත්වයට චීනයේ සිචුආන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශය මුහුණ පෑවේය. මේ පළාත වඩාත් ප්‍රසිද්ධ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මීටර 71 උසැති ‘ලෙෂන්’ බුදු පිළිම වහන්සේ නිසාය. දැන් චීනයේ පිහිටි මෙම යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී හමාරය. මෙම ශෛලමය බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසේදී පමණ නිමවන ලද්දකි.

 සුගත් පී.කුලතුංගආරච්චි