2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

පාපන්දු පිටියේ විප්ලවවාදියා

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

ලෝක පාපන්දු පිටියේ ප්‍රවාදගත විශිෂ්ටයකු වූ දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මිය ගියේය. ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිම පාපන්දු තරුවක වන දියාගෝ ඒ වන විට සිය 60 වැනි උපන්දිනය සමරා මාසයකි.
පාපන්දු පිටිය තුළදී මෙන්ම ඉන් පිටතදීද හොඳට නරකට දෙකටම නම කියැවුණු මැ‍රඩෝනා කට කැඩිච්ච කතා ගැන ප්‍රකට විචිත්‍ර චරිතයකි. කෙතරම් චෝදනා පැවතිය ද මැරඩෝනා සමස්ත ලෝක පාපන්දු ලෝලීන්ගේම ආදරය දිනාගැනීමට සමත් වූ අපූරු චරිතයකි. ඔහු ගත කළේ වාර්තාපිට වාර්තා තැබූ ජීවිතයකි. කොකේන් මත සමඟ 12 වසරක් තනිව සටන් කර එයට තිත තැබූ වීරයෙකි.

ආජන්ටිනාවේ බුවනෝස් අයරේස් අසල 1960 ඔක්තෝබර් මස 30 දා උපන් දියාගෝ අර්මන්ඩෝ මැරඩෝනා වෘත්තීමය ක්‍රීඩකයකු හැටියට හා.. හා පුරා පාපන්දු පිටියට අවතීර්ණ වන්නේ 1976 ඔක්තෝබර් 20 දී ආර්ජන්ටිනා ජුනියර්ස් කණ්ඩායම නියෝජනය කරමිනි. එවකට ඔහුට යන්තම් වයස අවුරුදු 15 ලැබූවා පමණි. වයස 16ක් වෙද්දී 1977 පෙබරවාරි 27 ඔහු සිය අන්තර්ජාතික මංගල තරගයට එක් විය. 1979 දී ජපානය පරදා තරුණ ලෝක කුසලානය දිනාගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ ඔහු ද සාමාජිකයෙකි.

ලොව වැඩි වාර ගණනාවක් ලෝක කුසලාන තරග සඳහා සිය ක්‍රීඩා පිල මෙහෙයවූ නායකයා ලෙස නොමැකෙන වාර්තාවක් තබා ඇත්තේ දියාගෝය. ඔහු 16 වතාවක් සිය රටේ කණ්ඩායම මෙහෙයවිය. ඔහු කුසලාන තරග 21ක් නියෝජනය කළ අයෙකි. ඉන් 4ක් සිය රට නියෝජනය කරමින් ඉදිරිපත් විය. මැ‍රඩෝනා 1977 වසරේ සිට 1994 වසර දක්වා ආජන්ටිනාව නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපන්දු තරග 91කට ක්‍රීඩා කර තිබේ. එහිදී ඔහු වාර්තා කර ඇති ගෝල ප්‍රමාණය 34කි.

මැ‍රඩෝනා 1986 ලෝක කුසලානය සිය රටට හිමිකර දීමට ප්‍රබල දායකත්වයක් දැක්වූයේ ප්‍රබල රටක් වූ බටහිර ජර්මානු පිල 3–2ක් ලෙස පරාජයට පත් කරමිනි. එම තරගාවලියේ මූලික වටයේදී ප්‍රබල එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසිකර දැමීමට මැරඩෝනා පෙරමුණ ගත් අතර එහිදී ඔහු වාර්තා කළ අසිරිමත් ගෝලය හඳුන්වන්නේ ‘hand of the god’ ලෙසයි. එම තරගයේදීම ඔහු වාර්තා කළ ජයග්‍රාහී දෙවැනි ගෝලය “සියවසේ හොඳම ගෝලය”- Goal of the Century, ලෙස අන්තර්ජාතික පාපන්දු සම්මේලනය FIFA මගින් නම් කරන්නට යෙදුණි. මේ කීර්තිය සමරා ඔහුගේ පිළිරුවක් Azteca ගෘහස්ත ක්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටුවා තිබේ. FIFA තරගාවලි මගින් රන් පන්දුව සම්මානය - Golden Ball දිනාගත් ක්‍රීඩකයන් දෙදෙනා අතරින් එක් අයෙක් වන්නේ මැරඩෝනාය. ආර්ජන්ටිනාවේ සුපිරි සංස්කෘතික සම්මානයක් වන Diamond Konex, ඔහුට 1990 දී පිරිනැමුවේ ක්‍රීඩාවට සිදු කළ මෙහෙය අගයමිනි.

ආර්ජන්ටිනාවෙන් බාර්සිලෝනාවට ද එතැනින් නැපොලි කණ්ඩායම වෙතට ද යමින් ක්‍රීඩාපිටිය වර්ණවත් කළ මැරඩෝනා සිය සමුගැනීමේ තරගයට සහභාගි වූයේ 2001 නොවැම්බර් 10 බුවනොස් අයරේස් හිදී ප්‍රේක්ෂක ජයඝෝෂා මැදය.
මැරඩෝනා තද කැරළිකාරී අදහස් සහිත අයෙකි. ඔහුගේ අතේ චේ ගවේරා ගේ පච්චයකි. වම් කකුලේ ෆිදෙල් ක්‍රස්තෝගේ පච්චයකි. රාවුල් ක්‍රස්තෝ ඔහුගේ ළඟම මිතුරෙකි. ආර්ජන්ටිනා මනෝ වෛද්‍ය ගුස්ටාවෝ බර්න්ස්ටෙයින් මැරඩෝනාගේ චරිතාපදානය ලියමින් සඳහන් කර ඇත්තේ ආර්ජන්ටිනාව සහ ආර්ජන්ටිනානුවන් නියමාකාරයට පිළිබිඹු කරන්නේ මැරඩෝනා බවයි. ඔහුට අනුව, මැරඩෝනා යනු ආර්ජන්ටිනාවයි. ආර්ජන්ටිනාව යනු මැරඩෝනායි. මැරඩෝනා ගැන චිත්‍රපටයක් කළ අධ්‍යක්ෂ කස්ටූරිකා කියන්නේ මැරඩෝනා පාපන්දු තරුවක් නොවුණා නම් විප්ලවවාදියකු වන බවය. ආර්ජන්ටිනානුවන් තුළ මැරඩෝනා සම්බන්ධයෙන් ඇත්තේ පූජනීය ගෞරවයකි.

ඔහුගේ ක්‍රීඩාලෝලීහු බුවවෙනොස් අයරේස් හි මැරඩෝනා පල්ලියක් ද පිහිටුවාගෙන තිබේ. කිතු උපතින් පසුව ක්‍රිස්තු වර්ෂ ගණන් ගන්නා ලෙසට ඔවුහු මැරඩෝනා උපන් දවසින් පසු අවුරුදු නම් කරන්නට ද කටයුතු කරනු දක්නට ලැබේ. නිදසුනක් හැටියට මැරඩෝනා බැතිමතුන් 2010 වර්ෂය දක්වන්නේ 50D.D [“despues de Diego”],” or ‘After Diego’, මැරඩෝනාගෙන් පසු 50 වැනි වසර හැටියටය. ඔහු ඒ තරම්ම ජනකාන්ත තරුවකි. 

 සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00