2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

ට්‍රම්ප් විරෝධය හකුළා ගනියි!

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් ඔහුගේ අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත.
ජෝ බයිඩ්න්ට ජනාධිපති ධූරය බාරගැනීම සඳහා නිල බල හුවමාරැවකට ඉඩදීමට සූදානම් බව අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කිරීමත් සමගිනි. මෙය සැලකෙන්නේ ඔහු විසින් සිය පරාජය නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව ලෙසටයි.

ඒ අනුව ලබන ජනවාරි 20 වැනිදා බයිඩ්න්ගේ දිවුරුම් දීමේ උත්සවයට අදාළව මෙතෙක් ඇනහිට තිබූ ඇතැම් කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ද අවස්ථාව හිමිවෙයි.
ජෝ බයිඩ්න් සිය අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සඳහා තෝරාගත් අය ඔහු සමඟ ඔබාමා පාලනාධිකාරියේ වසර ගණනාවක් කටයුතු කළ පැරණි සගයන්ගෙන් සමන්විත කණ්ඩායමකි.
ඒ අනුව රාජ්‍ය ලේකම්වරයා ලෙස ඇන්ටනි බ්ලින්කන් ද, දේශගුණ ක්‍රියාකාරීත්වය පිළිබඳව නියෝජිතයා ලෙස හිටපු රාජ්‍ය ලේකම්වරයකු වන ජෝන් කෙරී ද පත් කිරීමට නියමිතය.
අමෙරිකා ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස ඇව්රිල් හයින්ස් පත් කිරීමට නියමිත අතර ඇය එම තනතුරට පත්වන පළමු අමෙරිකානු කාන්තාව ලෙස ඉතිහාස ගතවනු ඇත. ස්වදේශ ආරක්ෂක ලේකම් ලෙස නම් කරන ලද්දේ ඇලෙජැන්ඩ්‍රෝ මයෝකාස්ය. ඔහු මීට පෙර ජනාධිපති ඔබාමා යටතේ ස්වදේශ ආරක්ෂක නියෝජ්‍ය ලේකම් ලෙස සේවය කළ අතර ඔහු ලතින් අමෙරිකානු ජාතිකයෙකි.

ජේක් සුලිවන් ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස නම් කරන ලදී. (මේ සඳහා සෙනෙට් අනුමැතිය අවශ්‍ය නොවේ.) සුලිවන් මහතා ඔබාමාගේ දෙවැනි ධූර කාලය තුළ බයිඩ්න් මහතාගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස සේවය කළේය.
ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති ලෙස නම් කරන ලදී. ඇය 2013 සිට 2017 දක්වා අප්‍රිකානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇතුළු තනතුරැ දරමින් ජනාධිපති ඔබාමා යටතේ සේවය කළාය.
බල හුවමාරුව ක්‍රියාත්මක කරන සාමාන්‍ය සේවා පරිපාලනය General Services Administration (GSA) කියා සිටියේ බයිඩ්න් මහතා “කැපීපෙනෙන ජයග්‍රාහකයා - apparent winner” ලෙස පිළිගන්නා බවයි. එය සිදු වූයේ මිචිගන් ප්‍රාන්තයේ බයිඩ්න් මහතාගේ ජයග්‍රහණය නිල වශයෙන් සහතික කිරීමත් සමඟය.

ඒ අනුව පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩ්න් බලයට පත්වීම සඳහා විධිමත් සංක්‍රාන්තියක් ආරම්භ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබේ. ජී.එස්.ඒ. නිවේදනයෙන් පසුව පෙන්ටගනය කියා සිටියේ බයිඩ්න් කණ්ඩායමට සහයෝගය ලබා දෙන බවයි.

දෙසැම්බර් 14 වැනි දින පැවැත්වෙන එක්සත් ජනපද මැතිවරණ විද්‍යාලයේ දී (electoral college) බයිඩ්න් මහතා ජනාධිපති ට්‍රම්ප් ඡන්ද 306කින් 232ක් ලෙස පරාජය කිරීමට නියමිතය. මෙය ඔහුට අවශ්‍ය ඡන්ද 270ට වඩා බෙහෙවින් වැඩිය. ඒ අනුව ජෝ බයිඩ්න් අමෙරිකාවේ 46 වැනි ජනාධිපති බවට පත්වනු ඇත.