2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

සිරියාවේ රසායන අවි මාරකය

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248

සිරියාවේ ඉද්ලිබ් පළාතේ කාන් ෂෙයිකුන් වෙත රසායන අවි ප්‍රහාරයන් එල්ල වූයේ පසුගිය අඟහරුවාදා උදාසනය. මේ ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් 80කට වැඩිපිරිසක් දරුණු වද වේදනා විඳි මියගියහ. එයින් වැඩි ප්‍රමාණයක් හයක් හතරක් නොදත් කුඩා දරුවන්ය. ලෝකයම එකාවන්ව මේ බිහිසුණු ප්‍රහාරය හෙලා දුටුවේය. නමුත් රුසියාවේ ජනාධිපති පූටීන් සිරියානු ආරක්ෂක හමුදාවට සුදු හුණු ගෑමේ කොන්ත්‍රාත්තුව බාරගෙන තමන්ගේ මූණේ දැලි ගා ගත්තේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් කැඳවූයේය. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය මේ සඳහා මූලිකත්වය ගෙන තිබුණි. ප්‍රංශය බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව මේ ප්‍රහාරය පිළිබඳ පූර්ණ පරීක්ෂාවක් අවශ්‍ය බවට යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණි. ඔවුන් මේ ප්‍රහාරය ගැන චෝදනාව එල්ල කරන්නේ බෂාර් අල් අසාද්ගේ රජයටයි.

එසේ වුවද රුසියාව මේ යෝජනාව පිළිගත නොහැකි බව පැවැසීමත් සමග මේ රුස්වීමද පුස්සක් බවට පත්විය. අමෙරිකාව මෙහිදී තදබල අනතුරු ඇඟවීමක් කර ඇත්තේ එක්සත් ජාතීන් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ නම් තමන් මේ ගැන නීතිය අතටගෙන ක්‍රියාකරන බවටය.

කෙසේ වුවද සිරියානු රජය තමන් රසායනික අවි ප්‍රහාරයක් එල්ල නොකළ බව කියා තිබුණි. 2013 දී සිරියාවේ දමස්කස් අග නගරයටද සරින් නමැති රසායනික විෂ වායු ප්‍රහාරයක් එල්ල වූ අතර එමගින් සාමාන්‍ය වැසියන් සියයකට අධික පිරිසක් මිය ගියේය. මෙවර ප්‍රහාරයෙන් හුස්ම හිරවී මියගිය අය අතර දරුවන් තිස් දෙනකු පමණ සිටි බව බ්‍රිතාන්‍ය මානව හිමිකම් ආයතනයක් පෙන්වා දෙයි. ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ රුසියාවේ අත්තනෝමතික බලපෑම මගින් හිස උදුම්මා ගත් සිරියානු රජය තවදුරටත් සිවිල් ජනයා පෙලීමට තැත් කළහොත් අමෙරිකාව සිරියාවට අත පොවනු ඇති බවය.