2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

බර්නිගේ සැබෑවූ අනාවැකි!

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ උණුසුම මැද හිටපු සෙනට් සාමාජිකයෙකු සහ ජනාධිපති අපේක්ෂකයකුද වන බර්නි සැන්ඩර්ස්  අනාවැකි කරුවෙකු බවට පත්වීමට සමත්විය. ඒ ඔහු විසින් ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර පළකරන ලද අනාවැකි කිහිපයක් එලෙසම සත්‍ය වීමත් සමඟය.

ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ජිමී ෆැලෝන්ගේ වැඩසටහනකට එක්වෙමින් බර්නි සැන්ඩර්ස් මෙම අනාවැකි පළ කර තිබුණි. එහිදී ජනාධිපතිවරණ දිනයෙන් පසු සිදුවිය හැකියැයි බර්නි කී බොහෝ දේ පසුව  සත්‍ය විය.
බර්නි සැන්ඩර්ස්ගේ පළමු අනාවැකිය වන්නේ සියලුම ඡන්දය අනිවාර්යයෙන් ගණනය කළ යුතු බවය. ඔහු සැක පළකරන පරිදි යම් අර්බුදයක් ඇතිවනු ඇති බවත් එම නිසා අනිවාර්යයෙන්ම සියලු ඡන්දයන් ගණනය කළ යුතුය යන්නත් ඔහු අවධාරණය කර සිටියේය. එය සත්‍ය වූයේ ඇමෙරිකානු ජනතාව සියලු ඡන්ද ගණනය කළ යුතු යැයි විදී බැසීමත් ට්‍රම්ප් පාර්ශ්වය විසින් ඡන්දය ගණනය නවතා දැමීමට කරන ලද බලපෑමත් නිසාය.

ඔහු එහිදී තවත් සඳහන් කර සිටියේ පෙන්සිල්වේනියාව, මිචිගන් සහ විස්කොන්සිස් යන ප්‍රාන්තයන්වලින් සහ අනිකුත් ප්‍රාන්තයන්වලින් විශාල තැපැල් ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇති බවත් එය මිලියන ගණනක් වනු ඇති බවය. එයද සත්‍යයක් විය. ඔහු සඳහන් කරන ලද ප්‍රාන්තයන්වල සහ අනිකුත් බොහෝ ප්‍රාන්තයන්වල තැපැල් ඡන්දය ගණනයට වැඩි කාලයක් ගතවිය.

ඩිමොක්‍රටික් ඡන්ද දායකයන් බොහෝ ප්‍රමාණයක් සිය ඡන්දය තැපැල් ඡන්ද ලෙස ප්‍රකාශ කරනු ඇති බවත්, රිපබ්ලිකන් ඡන්ද දායකයන් විසින් ඡන්ද මධ්‍යස්ථානයන් වෙත ගොස් සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවත් බර්නි කීය. මෙම හේතුව නිසා බොහෝ විට ඡන්ද ගණනයේදී තැපැල් ඡන්ද ගණනයට පෙර ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රකාශිත ඡන්දයන් ගණනය කරනු ඇති බවත් එම ඡන්දයන් බොහෝ විට රිපබ්ලිකන් ඡන්දයන් වනු ඇති බවටද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

බර්නි සැන්ඩර්ස්ගේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් අනාවැකිය වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව ඔහු පළකරන ලද අනාවැකියයි. සෙනට් සභිකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සඳහන් කරමින් පවසා සිටියේ ඡන්දය දින රාත්‍රියේදී මුලින්ම ගණනය වූ රිපබ්ලිකන් ඡන්ද ප්‍රමාණය වැඩිවීම නිසා මිචිගන්, පෙන්සිල්වේනියා, විස්කොන්සිස් වැනි ප්‍රාන්තයන්වල ට්‍රම්ප් ඉදිරියට පැමිණෙනු ඇති බවයි. ඉන් අනතුරුව ට්‍රම්ප් විසින් තමා ජයග්‍රහණය කර ඇති බවට රූපවාහිනී සහ අනිකුත් මාධ්‍ය හරහා පවසනු ඇති බවයි. නමුත් තැපැල් ඡන්ද ගණනය ආරම්භ කිරීමෙන් අනතුරුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් විසින් ට්‍රම්ප් ජයග්‍රහණය කරා යැයි පවසන සියලු ප්‍රාන්තයන්වල ජය තමා සතු කරගනු ඇති බවටද ඔහු ප්‍රකාශ කළේය.

එම අනාවැකිය අතිශයෙන්ම සත්‍ය වූ අතර ඔහු කී ලෙසින්ම ට්‍රම්ප් විසින් තමා ජයගත් බව ට්විටර් හරහා සහ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කළ අතර තැපැල් ඡන්ද ගණනය ආරම්භ වීමත් සමඟ ට්‍රම්ප් සිය ආධිපත්‍ය පතුරැවාගෙන සිටි මිචිගන්, විස්කොන්සිස් බඳු ප්‍රාන්තයන් ට්‍රම්ප් හට අහිමිවිය. එමෙන්ම ට්‍රම්ප් විසින් ඊටපසුව මෙම ඡන්දය තුළ අක්‍රමිකතාවයක් සිදුව ඇතැයි කීමත්, ඔවුන් මෙම සටන අත්හරින්නේ නැති බව කීමත් මෙම අපූරැ සෙනට් සභිකයා විසින් සතියකට පෙර ටක්කෙටම පවසා තිබීමද සුවිශේෂත්වයකි.

බර්නි සැන්ඩර්ස් මෙම වැඩසටහනට සහභාගී වී තිබුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ 23 වැනිදාය. ඔහුගේ මෙම සාකච්ඡාව මේ වනවිට ඇමෙරිකානුවන් අතර වඩාත් වේගයෙන් සංසරණය වීමට පටන්ගෙන ඇති අතර බොහෝදෙනා සමාජ මාධ්‍ය ඔස්සේ බර්නි සැන්ඩර්ස්ව අනාවැකි කරුවෙකු ලෙසත්, තවත් පිරිසක් ඔහු කාලය හරහා පැමිණි අයෙකු බවත්, ඔහු අධි මානසික බලයක් ඇත්තෙකු යැයි කීමටද පටන් ගෙන තිබේ.