2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

උඩුගුවනේත් ඡන්ද පොළක්!

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

මෙවර අමෙරිකානු මැතිවරණය  වෙනත් වාරවලට වඩා අමුතුය. විශාල ඡන්ද ප්‍රතිශතයක් වැටුණේ තැපෑලෙන් සහ ඡන්ද දිනයට කලිනි. මේ අතර ඈත අභ්‍යවකාශයේද අමෙරිකානු ඡන්ද පොළක් විවෘත වූයේය.

පැය කිහිපයකට විවෘත වූ මේ ඡන්ද මධ්‍යස්ථානය තිබුණේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළය .එහි සිටියේ එකම එක ඡන්ද දායිකාවකි. ඈ කේට් රෑබින්ස් නම් වූ අභ්‍යවකාශගාමිනියයි. ඔක්තෝබරයේ 14 සිට උඩුගුවනේ රැඳී සිටින ඇය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත එන්නට පෙර රටින්පිට ඈත ප්‍රදේශවල සිටින ඡන්ද දායකයන්ට ඡන්දය දෙන්නට ඉඩ සලසන ෆෙඩරල් ඡන්ද පෝස්ට් කාඩ් පතක් FPCA, සඳහා ඇයැදුම් කර තිබුණි. ඇගේ තැපැල් ඡන්දය පරිගණක ඔස්සේ අභ්‍යවකාශයට ලැබුණු අතර කේට් තනිවම රහසිගතව ඡන්දය ප්‍රකාශ කළාය. මේ සඳහා සිය සමූහ ලැගුම් කාමරය ඇය තාවකාලික ඡන්ද මධ්‍යස්ථානයක් බවට වෙස් පෙරළාගන තිබුණේ එහි දොරටුවේ “අයි එස් එස් ඡන්ද කුටිය” - "ISS Voting Booth.” යැයි අතින් ලියූ බෝඩ් ලෑල්ලක්ද එල්ලා ගත්තාය. කේට් රූබින්ගේ ඡන්දය අයත්වන්නේ ටෙක්සාස් ප්‍රාන්තයටය. ඒ සියලු අභ්‍යවකාශගාමීන් පුහුණුව සඳහා හූස්ටන් හි ලියාපදිංචිව ඇති නිසාය. කේට් උඩුගුවනේ සිට ඡන්දය දෙන්නට පළපුරුදුකාරියකි. ඇය 2016 ජනාධිපතිවරණයේදීත් ඡන්දය දුන්නේ “අයි එස් එස්” ඡන්ද කුටිය තුළදීය.