2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

මහ පොළොවේ හිම මිදීම නවතියි!

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 234

ආක්ටික් ගෝලයට අයත් ලැප්ටාව් මුහුද හරිනම් මේ කාලයට තිබිය යුත්තේ   සම්පූර්ණයෙන්ම හිම තලාවක් බවට පත්වය. නමුත් දැන් එහි  හිම මිදීම නැවතී ගොසිනි. සෘතු භේදය අනුව, වසරේ මුල් උණුසුම් කාලයේ දියවී යන ආක්ටික් හිම වැස්ම, මේ කාලයේ ආරම්භවන ශීත සෘතුව සමග නැවතත් මිදීයාම ඇරඹෙයි. එය හැඳින්වෙන්නේ ‘සිසිල් මිදීම’ හෙවත් ‘ශීතනය’ හැටියටය. නමුත් මෙවර එය නිසිකලට සිදුනොවී අසාමාන්‍ය ලෙස ප්‍රමාද වෙමින් තිබේ.

විද්‍යාඥයන්ට අනුව මේ ප්‍රමාද වූ ‘සිසිල් මිදීම’ මගින් ඉඟිකරන්නේ හරිතාගාර වායු විමෝචනයේ තවත් අනිටු පල විපාකයක්  ගැනය. ලැප්ටාව් මුහුදේ මේ අසාමාන්‍ය හැසිරීමට හේතුව අන් කිසිවක් නොව, උතුරුදිග රුසියාවෙන් වාර්තා වන අසාමාන්‍ය සහ දික්ගැස්සෙන උණුසුම බව විද්වතුනගේ අදහසයි. මේ කලාපයේ මුහුද, ගතවූ කාලය තුළ සෙල්සියස් අංශක 5 කට ද වඩා රත් වී තිබේ. සෙල්සියස් අංශක දශමයකින් වුවත් ජලය උණුසුම් වීම බරපතළ ගැටලුවකි.

මේ වනවිට අත්ලාන්තික් සාගර ජලයේ රැළි රටාවන්ද පවතින්නේ වෙනස් වෙමිනි. ධ්‍රුවාසන්න කලාපයේ රටවල්වලට නුදුරේදීම මෙහි අනිටු විපාක විඳීමට සිදුවනු ඇතැයිද දැන් පර්යේෂකයෝ අනතුරු අඟවා හමාරය. වසර මුලදී තාප තරංගයක බලපෑමට  මෙම ධ්‍රුව ප්‍රදේශ ලක්විය. සයිබීරියානු තාප තරංග ලෙස හඳුන්වන එයින් මෙම  විපත දෙගුණ කරමින් ඉකුත් ශීත සෘතුවේ අයිස් දියවීම දැඩි ලෙස වේගවත් වී තිබිණ. මේ වසරේ සයිබීරියානු තාප තරංග, 600 ගුණයක වැඩි බලපෑමක් කළේය. එයට හේතු වූයේ  කාර්මික, කෘෂිකාර්මික හරිතාගාර වායු විමෝචනය බව මේ වසරේ මුල එළිදැක්වුණු පර් යේෂණ පත්‍රිකා සනාථ කර තිබේ. එය අසාමාන්‍ය සිද්ධියක් විය. මේ කාලයේ ජල අංශු තුළ සිරවී තිබෙන ‘උගුල්ගත තාපය^ trapped heat, තාප තරංග ලෙස සෙමෙන් වායුගෝලයට මුදා හැරීම සිදුවෙයි. මෙම  තාප තරංග නිසා වායුගෝලය උණුසුම්වද්දී, සිදුවන දේශගුණික විපර්යාසයේ  ප්‍රතිඵලයක් ලෙසට අයිස් තට්ටුවලට යටින් පිහිටා ඇති ජලතල වඩාත් උණුසුම් වී මිදීයාම ප්‍රතික්ෂේප කරයි. දැන් මේ අසාමාන්‍ය සංසිද්ධිය නිසාම ආක්ටික් කලාපය වේගයෙන් වෙනස් වෙමින් උණුසුම්ව ඇති අතර ‘අයිස් නැති - ශීත කාලයක්’ ක්‍රමයෙන් උදාවෙමින් පවති. ඒ අනුව අයිස්වලින් තොරවූ පළමු  ගිම්හානය නුදුරු, 21 වැනි සියවසේදී උදාවීමට නියමිතය. විද්‍යාඥයන් කියන්නේ එය කැපී පෙනෙන ලෙස සිදුවනු ඇත්තේ වසර 2030ත් 2050ත් අතර කාලයේදී බවයි. ලැප්ටාව් මුහුදු කලාපයේ සිදුවන මේ වෙනස මේ නිගමනය ලබාදීම සඳහා තෝරාගෙන තිබෙන්නේ ලැප්ටාව් මුහුද අයිස්වල තිඹිරිගෙය ලෙස සලකන නිසාය.

සාමාන්‍යයෙන් ශීත සෘතුවේ ආරම්භය පැමිණෙනවාත් සමග ලැප්ටාව් මුහුදේ වෙරළ තීරය දිගේ අයිස් හැදෙන්නට පටන් ගන්නා අතර, ඉන්පසු ඒවා බටහිර දෙසට සාගර දියවැල් ඔස්සේ ආක්ටික් කලාපය පුරා ගෙන යනු ලබයි. ග්‍රීන්ලන්තය සහ ස්ලැව්බාද් අතර පිහිටා තිබෙන ෆ්‍රේම් සමුද්‍ර සන්ධිය වෙතට මෙම අයිස් ගලා යනවිටදී වසන්ත සෘතුව උදා වී ඇති හෙයින් ඒකාලයට ඒවා දියවී යයි.

දැන්, ලැප්ටාව් මුහුදේ අයිස් සැදීම ප්‍රමාද වනවිට සිදුවන්නේ වඩාත් තුනී අයිස් තට්ටුවක් හෝ හිම තට්ටුවක් නිර්මාණය වීමයි. එවිට ඒවා ෆ්‍රේම් සමුද්‍ර සන්ධිය වෙතට ළඟාවීමට පෙරම දියවී යයි. එසේ වූ විට ආක්ටික් සාගරයේ තිබෙන ප්ලැන්ක්ටන් නමැති මුහුදු ශාකයේ සාරය එම අයිස් වතුරට ලැබෙන්නේ අඩුවෙනි. එහි ප්‍රතිඵලය වන්නේ මේ සාගර ජලයට වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමට ඇති හැකියාව අවම වීමය.

මෙලෙස වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීම ජලය විසින් අඩු කරන විට ඒ උණුසුම නිසා ජල තලයම නැවත සෙමෙන් සෙමෙන් රත්වීම සිදුවෙයි. ඒ කියන්නෙ ලෝකයේ හොඳම සිසිල් කාරකය වන මිහිතලයෙන් 2/3 ක් වසා පැතිර තිබෙන මහා සාගර ජල තලයේ  එම  සිසිලකාරක ගුණයත් විනාශ වෙමින් යන බවය. මිහිතලය දැරිය නොහැකි උණුසුමකින් කැකෑරෙන්නට ගන්නා බවය. ලැප්ටෝව් කලාපය අනතුරු අඟවන්නේ එබඳු විනාශයක් පිළිබඳවය.

 

සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00