2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

චීනය කොනිත්තන අමෙරිකා මිසයිල!

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

අමෙරිකානු රජය- ඩොලර් බි. 1.8ක් වටිනා මිසයිල තායිවානයට ලබාදීමට යයි. ඒ තායිවානයට චීනයට එරෙහිව ආරක්ෂාව දැඩි කර ගැනීමටය.

චීනය සහ තායිවානය අතර වසර ගණනාවක් පුරා නොහොඳ නෝක්කාඩුවක් පවතී. චීනය, තායිවානය සළකන්නේ ඔවුන්ට අයත් ප්‍රාන්තයක් ලෙසය. දෙරට අතර ඇති ආරවුල මෑතක සිට ඉහළ ගොස් ඇත. එම දිවයින නැවත ලබාගැනීමට බලය යෙදීමට වුවද චීනය පසුබට නොවෙයි.

මේ නිසාම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තායිවානය දිවා රාත්‍රියේ චීනයෙන් එල්ල වීමට නියමිත ඕනෑම ආකාරයේ තර්ජනයක් මැඩපැවැත්වීමට සමත් වන ආයුධ පද්ධති 3ක්, රොකට් ලෝන්චර්, සෙන්සර් සහ කාලතුවක්කු මෙන්ම ගුවනේ සිට බිම හෙළිය හැකි, අතිශය නිරවද්‍යතාවයෙන් යුක්ත AGM-84H SLAM-ER වර්ගයේ කෲස් මිසයිල 135ක් ද  ලබාදීමට නියමිතය.
2016 වසරේ පටන් චීනය තායිවානය කෙරෙහි දක්වන ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය දැඩි කර තිබේ. පසුගිය වසරේ චීන ප්‍රහාරක ජෙට් යානා සහ බෝම්බ ප්‍රහාරක යානා තායිවානයේ ආරක්ෂක ගුවන් කලාපයට ඇතුළු වූ අතර, එහිදී කලාපීය යුද්ධයක් ඇති වේය යන බිය උද්ගත වී තිබිණි.

ගුවාම්හි පිහිටා තිබෙන අමෙරිකානු හමුදා කඳවුරු, තායිවානයට චීනයෙන් එල්ල විය හැකි තර්ජන පිළිබඳ පසුවන්නේ විමසිල්ලෙනි. චීනය ප්‍රකෝපකාරී විය හැකි නිසා, මීට පෙර බිහිවූ අමෙරිකානු ආණ්ඩු තායිවානයට ආයුධ වෙළෙඳාම් කිරීමේදී බෙහෙවින් සැලකිලිමත් විය. ඔවුන් ඒ පිළිබඳ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත.

නමුත් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘ඇමරිකා ෆස්ට්‘ ප්‍රතිපත්තිය යටතේ තායිවානයේ ආරක්ෂාව ද තමන්ගේ කාර්යයක් ලෙස සලකන බව පෙනෙන්නට තිබේ. නමුත් මේ අමෙරිකානු කෙනෙත්තිල්ල හේතුවෙන් චීනය හා තායිපේ අතර මෙන්ම අමෙරිකාව සහ චීනය අතර ද පවතින ගැටලු තවත් වර්ධනය වනු නිසැකය.