2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

කොවිඩ්-19 මැද ආර්ථික වසංගතයක්!

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 111

බත් ඇති තැනටමලු කොස් කීවාක් මෙන් කොඩිඩ්-19 භීෂණය මැද ලොව බහුතරය හිඟමනට වැටෙද්දී ඇති හැකි ඇත්තෝ මේ වසංගතයෙන් ද ලාභ උපයා ඇති බවට අලුත්ම බැංකු වාර්තා එළිදරව් කරයි.  

කොරෝනා වසංගතය හේතුකොට ලොව පුරා මිලියන සියයකට අධික ජනකායක්, අන්ත දුගීභාවයට ඇදවැටී ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් කියා තිබේ. ඒ අතර ස්විස් බැංකු වාර්තාවක් අනාවරණය කර ඇත්තේ කොරෝනා වසංගතය ප්‍රබලව ව්‍යාප්ත වූ මෙම වසරේ මැද භාගය තුළදී ලෝක ධනවතුන්ගේ ආදායම හා වත්කම් කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවය.

කෝටිපතින්ගේ මල්ල පිරෙද්දී ලොව කෝටි 100ක් හිඟමනට!

කෝටි 10ක් හිඟමනට වැටීම වසර 300කට පසු ලොව සිදුවූ බරපතළම ආර්ථික පසුබෑම වන බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි. වසරකට ඩොලර් 700කට වඩා අඩු ආදායමක් ලබන හෝ දිනකට අමෙරිකානු ඩොලර් 1.90කට වඩා අඩු ආදායමක් උපයන පුද්ගලයන් අන්ත දුගීන් ලෙස මෙහිදී ලෝක බැංකුව වර්ග කර ඇත.

මේ වන විට මෙසේ අන්ත දුගී පුද්ගලයන් මිලියන 700ත් 729ත් අතර ප්‍රමාණයක් ලොව වෙසෙන බවද ලෝක බැංකුව ගණන් බලා ඇත. එය පසුගිය වසර අවසානයේ පැවතියේ මිලියන 615ක අගයක බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.
දුගීභාවය පිළිබඳ මේ වාර්තාව එළි දකිද්දීම නිකුත් වූ ස්විස් බැංකු වාර්තාවට අනුව කොරෝනා අර්බුදයේ උච්ඡතම කාලය වූ අප්‍රේල් සිට ජූලි යන කාලවකවානුව තුළ ලොව ධනවත්ම පුද්ගලයන් රැසකගේ වත්කම් 27.5කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව කොරෝනා වයිරස වසංගතය සමයේදීත් ලොව බිලියනපතියන් ඉතාමත් හොඳින් ආදායම් උපයා තිබේ. මේ අනුව ඔවුන්ගේ සුවිශාල ධනස්කන්ධය වසංගතය අතරවාරයේදී ට්‍රිලියන 10.2ක් දක්වා වාර්තාගත ලෙස වර්ධනය වී ඇත.
බිලියනපතින්ට මෙසේ කොවිඩ් අර්බුදයෙන් ලාභ ලබන්නට හැකිවූයේ ලොව පුරා කොටස් වෙළෙඳපොළ කඩා වැටෙන විට ඒ කොටස් මිල දී ගන්නට ඔවුන්ට හැකියාව තිබූ නිසාය. දැන් මේ වන විට යළි එම කොටස් මිල ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඔවුහු අධික ලාභ ලබති.

දැනට ලෝකයේ සිටින අංක 1 කෝටිපතියා වන්නේ ඇමසන් හිමිකරු ජෙෆ් බෙසොස්ය. ඔහුගේ ධනස්කන්ධය මේ වසර තුළදී පමණක් ඩොලර් බිලියන 74කින් වැඩි වී තිබේ. එයට හේතු වී තිබෙන්නේ කොවිඩ් වසංගතයත් සමඟ මුළු ලෝකයම ඔන්ලයින් වෙළෙඳපොළ වෙත යොමු වෙද්දී ඇමසන් සමාගමේ කොටස් මිල ඉහළ යාමය.

ටෙස්ලා සමාගමේ අධිපති එලන් මස්ක් ද සිය ධනස්කන්ධයෙන් වැඩිම කොටසක් උපයා තිබෙන්නේ මේ වසරේදීය. ඒ අනුව ඔහුගේ ධනස්කන්ධය ඩො. බිලියන 76 සිට ඩො. බිලියන 103 දක්වා මේ වන විට වැඩි වී තිබේ. 

 

සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00