2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

චිකාගෝ නුවර මැද මිලේනියම් බෝංචි ඇටේ!

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

චිකාගෝ නුවර මධ්‍යයේ පිහිටා තිබෙන මිලේනියම් උද්‍යානයේ ඉදිකර තිබෙන  අපූර්වතම නිර්මාණයක් මහා පරිමාණ සංචාරක ආකර්ෂණයක් දිනා ඇත. මේ වන විට ලොව ඉදිකර තිබෙන එළිමහන් කලාකෘතීන් අතරින් විශාලතම කලා නිර්මාණයක් ලෙස සැලකෙන මෙය ‘Cloud Gate’ හෙවත් ‘The Bean’, නැතිනම් වළාකුළු දොරටුව ලෙස නම් කර ඇත.

2004 වසරේ දී ඉදිකිරීම් අවසන් කළ මෙකී නිර්මාණය McCormick Tribune Plaza නමැති වෙළෙඳ සංකීර්ණයට ඉහළින් පිහිටුවා තිබෙන ස්මාරකයකි. ඒ ආසන්නයේ පිහිටා තිබෙන Park Grill Restaurant නමැති අවන්හලට පැමිණෙන අමුත්තන්ගේ ආකර්ෂණය මෙය නිතැතින්ම දිනා ගනී. චිකාගෝ නුවර විවිධ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයන්ගෙන්, ගංගා, ඇවිද යාමේ මංතීරු, සිනමාහල්, සාප්පු සංකීර්ණ මෙන්ම ප්‍රණීත ආහාරපාන සහිත අවන්හල්වලින් යුත්, සංචාරකයන්ටම වෙන් කළාක් මෙන් පෙනෙන අසිරිමත් පුරවරයකි. දැන් වළාකුළු දොරටුව මෙම පුරවරයේ අසිරිය තවත් කිහිප ගුණයකින් වැඩි කර  හමාරය.

වළාකුළු දොරටුව මතුපිට රසදිය පැහැයෙන් දිස්නය දෙයි. ඒ දෙස බලා සිටින්නකුට උද්‍යානය පුරා ඇවිද යන මිනිසුන් සියලු දෙනාව ‘Cloud Gate’හි මතුපිට ආවරණය මතින් දැකගැනීමට හැකිය. හරියටම කිව්වොත් වළාකුළු දොරටුව කියන්නේ විශාල කැඩපතකි. උද්‍යානය පුරා ඇති ගස්වැල්, ගොඩනැගිලි, නිල් අහස සහ වළාකුළු යන මේ සියල්ලක්ම වළාකුළු දොරටුවෙන් බොහොම අපූර්වත්වයෙන් යුක්ත හැඩයක් මවමින් දිස් වෙයි. මේ වළාකුළු දොරටුව අසලට පැමිණ එයින් පිළිබිඹු වන තමන්ගේ සේයාරෑ කාචගත කර ගැනීමට සංචාරකයෝ වැඩි කැමැත්තක් දක්වති. 

වළාකුළු දොරටුව මත වඩාත් අලංකාරව චිත්‍රණය වන්නේ අහසෙහි දර්ශනයයි. එය සමස්ත දර්ශනයෙන් 80ක පමණ ප්‍රමාණයකි. එසේම ‘Cloud Gate’හි මැද පවතින අඩි දොළහක් උසැති කවාකාර ආරුක්කුව හේතුවෙන් එකී නිරූපණය අහස වෙත යොමු වූ කවාකාර ගේට්ටුවක ස්වරූපයෙන් දිස්වෙයි. මෙයට ‘Cloud Gate’ යන නම පටබැඳී තිබෙන්නේත් ඒ හේතුවෙන්මය. කෙසේ නමුත් චිකාගෝ වැසියන් මෙම නිර්මාණය හඳුන්වන සුරතල් නාමය ‘The Bean’ යන්නය. ඊට හේතුව මෙය ඈතට දිස්වන්නේ බෝංචි බීජයක් ආකාරයට වීමය. මෙම නිර්මාණයේ පීතෘත්වය හිමි වන්නේ අනිෂ් කපූර් නමැති, ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික අතිදක්ෂ ප්‍රතිමා නිර්මාණ ශිල්පියාටය. අනිෂ් කපූර් මෙබඳු  පරාවර්තන ගුණයෙන් යුතු එළිමහන්හි සිදු කරන විශාල පරිමාණයේ ප්‍රතිමා, ස්මාරක නිර්මාණයන්ට කීර්තිය උසුලන්නෙකි.

 

► සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි