2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

ජනමාධ්‍යයත් ජෝ බයිඩන්ට! ට්‍රම්ප්ට ඇපත් නැතිවෙන හැඩ!

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184

ඉතිහාසයේ මුල් වතාවට අමෙරිකානු මාධ්‍ය ආයතනයක් ජනාධිපතිවරණයකදී  ප්‍රසිද්ධියේ සිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කරන්නට යෙදුණි. පසුගිය අඟහරුවාදා සුප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ජෝ බයිඩන් පත්කර ගන්නා ලෙස අමෙරිකානුවන්ගෙන් ඉල්ලා තිබුණි. මේ මොහොතේ අපේ ජාතියට ඕනෑකරන නායකයා හිටපු උප ජනාධිපතියි. (The former vice president is the leader our nation needs now.) යනුවෙන් එහි කර්තෘ මණ්ඩලය මතවාදයක් ලෙස මේ ප්‍රකාශය පළ කර සිටියේය. අමෙරිකාවට නැතිව ගිය ආත්මය යළි ගොඩනංවා දිය හැක්කේ බයිඩන්ට බව එහි ලිපියකින් ද කරුණු දක්වන්නට යෙදුණි. මේ වන විට කොව්ඩ්-19 ආසාදනයෙන් බේරී ධවල මන්දිරයට වී සිය පුරුදු නන්දෙඬවීම් අරඹා ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දැඩි බලවේගයක් ඒ රටේ ජනතාව තුළින්ම ගොඩනැගී හමාරය. මාධ්‍ය සමීක්ෂණ පෙන්වා දුන් අලුත්ම කාරණාව නම් ට්‍රම්ප්ට එරෙහිව සුදු-කෙස්සන් හෙවත් වයස්ගත උදවියගේ විප්ලවයක් දියත්ව ඇති බවය.

ට්‍රම්ප් හිලරි පරදා ජනාධිපති ධුරයට පත්වූයේ රටේ සිය සමකාලිකයන්ගේ හෙවත් වයස්ගත උදවියගේ ඡන්දයෙනි. 1946 සහ 1964 අතර කාලයේ උපන් 60 පැන්න  උදවියගේ කැමැත්ත ඉහළින්ම දිනාගන්නට එවර ට්‍රම්ප්ට හැකිවූ අතර හිලරිට වඩා ඔහු සියයට 9ක ප්‍රමාණයක් ඉදිරියට තල්ලු වූයේ ඒ ඡන්ද ගොන්න එක්වීමෙනි. ප්‍රධාන පෙළේ සමීක්ෂණ ආයතනයක් පෙන්වා දෙන්නේ මෙවර ඒ ඡන්ද ට්‍රම්ප්ට නොව බයිඩන් පක්ෂව බැරවන බවය. තරුණ ඡන්ද ද අහිමි ට්‍රම්ප්ට මෙවර තිබූ එකම තුරුම්පුව වූයේ සිය සමකාලීන වයසක ඇත්තන්ගේ ඡන්ද මල්ලය. නමුත් දැන් ඔහුට එය ද අහිමිය. දහ අතේ ණය වී බදු චෝදනා ද ලැබ, කොවිඩ්-19 වසංගතය හමුවේ අදක්ෂ නායකයකු බවද ඔප්පු කර සිටි ට්‍රම්ප් මෙම නොවැම්බර් ජනපති සටනින් කෙසේ හෝ බලය අල්ලා ගැනීමේ අරමුණ ඇතිව කටයුතු කළ නමුත් පූර්ව සමීක්ෂණ පෙන්වා දී ඇත්තේ මෙවර ඔහුගේ සිහිනය බොඳවන බවය. කොවිඩ්-19 පළහිලව්වට පෙර සිටම මේ ඝෝෂාකාරී පම්පෝරි ගසන, සම්ප්‍රදායට එරෙහි ට්‍රම්ප්ගේ හැසිරීම් හේතුවෙන් 60 පැන්න අමෙරිකානුවන් බහුතරයක් ඔහුගෙන් ඈත්වූ බව සමීක්ෂණ පෙන්වා දෙයි. තවත් අය හිලරි කාන්තාවක් වූ නිසා ඇය පැරදවීමට ගියවර උත්සුක වුවද මෙවර වඩාත් රැඩිකල් මුහුණුවරක් ගත් පරිණත පිරිමියා ලෙස කැපීපෙනෙන ජෝ බයිඩන් වෙත වඩාත් ආකර්ෂණය වී ඇති බව සනාථ වී ඇත. මේ මොනවා නැතත් අමෙරිකාවේ 60 පැන්න උදවිය මේ වන විට සිටින්නේ මර බයෙනි. ට්‍රම්ප් පාලනය තවදුරටත් පැවතියහොත් තමන් ද වසංගතයේ බිලි බවට පත්වේය යන භීතිය නිසාය. අමෙරිකාවේ මේ වන විට වසංගතයෙන් මියගිය 210,000න් 150,000ක්ම 65 හෝ ඊට වැඩි උදවිය බව වාර්තා වීම නිසා ඔවුන්ගේ මේ භීතිය සාධාරණය. මේ අය තමන්ගේ රටට වඩා අඩු පහසුකම් ඇති රටවල් පවා කොවිඩ්-19 හොඳින් පාලනය කර ඇති බව දැනුවත්ව සිටිති. ඒ නිසාම තවදුරටත් මේ පම්පෝරිකාර හිතුවක්කාරයා වෙනුවෙන් සිය ජීවිත පරදුවට තැබීමට ඔවුන් සූදානම් නැති බව මත විමසුම් සනාථ කර හමාරය. අධි දක්ෂිණවාදී අතිශය වයස්ගත සම්ප්‍රදායික “අන්කල් සෑම්” පන්නයේ සුළුතරයකුත්, 1965-80 කාලයේ ඉපදුණු X පරපුරේ අවසන් පරපුරට අයත් මැදි වයසේ සුළුතරයකුත් ට්‍රම්ප්ට තවමත් හිතැතිව සිටිති.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00