2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

හඳ වෙත යන මග රකින්න න්‍යෂ්ටික රොකට්!

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128

අමෙරිකාවේ ආරක්ෂණ වැඩපිළිවෙළට න්‍යෂ්ටික තාප බල ගැන්වූ එන්ජින් සහිත රොකට්ද යොදාගැනීමට පිඹුරුපත් සැකැසෙමින් තිබේ. මේ සඳහා අතගසා ඇත්තේ නාසා ආයතනයයි. න්‍යෂ්ටික තාප ප්‍රවාලන එන්ජීන් සහිත රොකට් යන්ත්‍ර නිපදවීම සඳහා මේ වනවිට නාසා ආයතනය ප්‍රමුඛ තාක්ෂණික ආයතනයකට කොන්ත්‍රාත්තුවක් භාරදී  හමාරය. අමෙරිකාවේ අභ්‍යවකාශ පොලිසියක් ද මෑතකදී ආරම්භ විය. අභ්‍යවකාශයේ ආරක්ෂාව සඳහාය කියමින් ඔවුන් මේ යෙදී සිටින්නේ උඩු ගුවන තුළද සිය බලය තහවුරු කර ගැනීමේ මෙහෙයුමකය. චන්ද්‍රයා සහ මහපොළොව අතර අභ්‍යවකාශ කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය යානා ධාවනයට මෙම අලුත් එන්ජින් යොදා ගන්නට නියමිතය. මෙම එන්ජින් හයිඩ්‍රජන්  වැනි ඉන්ධන අධික උණුසුම යොදා දහනය කර පීඩක නල ඔස්සේ ඒවා මුදා හරිමින් ඉදිරියට යාමට අවශ්‍ය තෙරපුම් බලය ලබා දෙයි.

නාසාහි ආරක්ෂණ කටයුතුවලට සම්බන්ධව මෙහෙයුම්වල යෙදෙන DARPA ආයතනය මෙම නවතම න්‍යෂ්ටික තාප බල ගැන්වූ එන්ජීන් නිපදවීම සඳහා වොෂිංටනයේ ග්‍රයිපෝන් තාක්ෂණික ආයතනයට භාරදී තිබේ. මේ සඳහා නාසා ආයතනය ඩොලර් මිලියන 14ක් වෙන්කරදී තිබේ. නාසා සඳ සහ මහපොළොව අතර ආරක්ෂණය සඳහා මෙම එන්ජින් යන්ත්‍ර යොදා ගන්නවාට අමතරව ඉදිරිකාලයේ අඟහරු බලා යන යානා සඳහාද මේ න්‍යෂ්ඨක තාප බලගැන්වුම් යාන්ත්‍රනය යොදා ගන්නට අරමුණු කර ඇත. නාසා ප්‍රධාන විධායක ජිම් බ්‍රයිඩෙන්ස්ටයින් පෙන්වා දී ඇත්තේ න්‍යෂ්ඨික තාප බලගැන්වුම් යාන්ත්‍රනය යෙදු යානයකට මාස දෙක තුනක කෙටි කාලයකදි අඟහරු වෙත යන්ට හැකිවන බවය. එය දැනට ඇති ඉතාමත් ඵලදායී ඉන්ධන යොදා කෙරෙන ගමන් සඳහා ගතවන කාලයෙන් අඩකට සමාන කාලයකි. මේ වැඩපිළිවෙළ ඉදිරි දශකයේ නාසා අභ්‍යවකාශ මෙහෙයුම්වලට අලුත්ම ජවයක් ලබා දෙනු  ඇත.