2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

ඉන්දියාවත් ශබ්දයේ වේගය පරදවයි!

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

ඉන්දියාව සිය ප්‍රථම සුපර් සොනික් මිසයිල තාක්ෂණය සාර්ථකව අත්හදා බැලීමට පසුගිය සතියේ සමත් විය. ශබ්දයේ වේගය පරදා ඇදෙන මේ නවතම එන්ජිම සහිත යානය HSTDV ලෙස නම් කර ඇත.
මෙයට ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක වේගයකට ළඟා විය හැකි බව කියයි. ඉන්දියාවේ ඔඩිස්සා හි ගිනිකොණ දිසාවෙන් පිහිටි ආචාර්ය අබ්දුල් කලාම් දූපතේ සිට මේ  සුපර් සොනික් යානා එන්ජිම සහිත මිසයිලය ගුවන්ගත කරන්නට යෙදිණි. 2019 දී මේ හා සමාන උත්සාහයක් දැරුවද එය අසාර්ථකව තිබුණි. මෙවර එය ඉතා ඉහළින්ම සාර්ථකව ඇත. ඒ අනුව මෙම සුපර් සොනික් තාක්ෂණය සතු ලෝකයේ ප්‍රබලම රටවල් අතරට ඉන්දියාවද එක්ව තිබේ. මෙයට පෙර මේ හැකියාව තිබුණේ අමෙරිකාව, රුසියාව සහ චීනයටයි.

නවතම සුපර් සොනික් එන්ජිම සහිත HSTDV වාහනය ද්විත්ව ක්‍රියාකාරී එකකි. එය හමුදාමය රාජකාරියක් වන කෘෘස් මිසයිල රැගෙන යන්නට මෙන්ම චන්ද්‍රිකා උඩුගුවනේ රැඳවීම වැනි සිවිල් රාජකාරි සඳහා ද එක සේ යොදාගන්නට හැකිය.

මේ ශබ්දයේ වේගය පැරදූ මිසයිලයකට පැයට සැතපුම් 3800ක නැතිනම් පැයට කිලෝමීටර 6115කට වැඩි වේගයකින් ගමන් කළ හැකිය. එයට ලොව ඕනෑම තැනකට මිනිත්තු කිහිපයකදී ගමන් කරන්නට හැකියාව තිබේ. අමෙරිකාව මේ තාක්ෂණය තමන් සතු බව ප්‍රකාශ කළේද මාර්තු මාසයේදීය. මේ වේගවත්ම යානාවන්ට න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය රැගෙන මිනිත්තු කිහිපයකදී ලොව ඕනෑම තැනකට ළඟා විය හැකි අතර එතැන මහා විනාශයක්ද සිදු කිරීමට ඇති හැකියාව මෙහි ඇති අනතුරුදායක තත්ත්වයයි.

අමෙරිකාව මේ න්‍යෂ්ටික බලගැන්වුණු මිසයිල ගැන කතාබහක් නැතත් පසුගිය ජූලියේ රුසියානු නායක ව්ලැද්මිර් පුටින් තමන්ගේ නාවුක හමුදාවට මේ සුපර් සොනික් න්‍යෂ්ටික ප්‍රහාරක බලය ලබා දෙන්නට සූදානම් බව කීවේය. සුපර් සොනික් දිය යට ඩ්‍රෝන සහ අධි ධ්වනි ප්‍රහාරක අවිවලින් සිය හමුදා ශක්තිමත් කරන්නට කටයුතු කරන බව ඔහු කීවේය.