2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

මිනිස් අතින් තැනූ යානා 03ක් අඟහරුට ගිය ඓතිහාසික ගමන

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

ඉකුත්ව ගියේ ඓතිහාසික මාසයකි. මෙතැන් සිට ජූලි මාසය අනාගතයේදී හැඳින්වෙනු ඇත්තේ “අඟහරැ - මාසය” හැටියටය. ඒ ලෝකයේ මුල් වතාවට අපේ ග්‍රහමණ්ඩලයේ ප්‍රධානතම ග්‍රහලෝකයක් වෙත මිනිස් අතින් නිපද වූ යානා 3ක් එක්වර පිටත්ව ගිය මාසය ජූලිය බවට පත් වූ නිසාය. මෙයට පෙර අභ්‍යවකාශ ඉතිහාසයේ “ජූලිය” ගැන සටහන්ව තිබුණේ මිනිසා හඳට ගිය මාසය හැටියටය. දැන් එය ඉතිහාසයේ මුල්ම වතාවට මහපොළොවේ කලාප 3කට අයත් ජනතාව නියෝජනය කරමින් යානා 3ක් අඟහරැ කරා ගිය මාසය බවට පත්ව හමාරය. එපමණක් නොව අඟහරැ කරා අරාබිකරයෙන් මුල්ම යානය පිටත් වූ මාසය ලෙස දැන්  සටහන් වන්නේද ජූලියයි.

අපේ ග්‍රහ මණ්ඩලයේ රතු ග්‍රහයා හෙවත් අඟහරැ කරා ගිය මේ යානා 03 පෘථිවියේ කලාප 03ක මිනිස් ජන සංස්කෘතීන් 03ක් නියෝජනය කිරීම මෙහි ඇති විශේෂත්වයයි. මහපොළොව මත “මං-මුදුනා” වන්නට උත්සාහ දරන මිනිස් සමාජ කණ්ඩායම් 03ක් අතර මෙතෙක් හීන්සැරේ ඇවිළ ගිය ලෝක දේශපාලනික බල පොරය අභ්‍යවකාශයද ආක්‍රමණය කළ කැපී පෙනෙන ඓතිහාසික අවස්ථාව සටහන් වූයේ මේ තරඟකාරී අඟහරැ තරණයන් මඟිනි.

මෙදා ජූලීයේ ආසියානු කලාපය නියෝජනය කරමින් චීනය සිය අභ්‍යවකාශ මෙහෙයුම මගින් “ටියෑන්වෙන් -1, “Tianwen-1”, හැටියට හැඳින්වෙන පරීක්ෂක යානාවක් පිටත් කර හැරියේය.

අමෙරිකාව ඇතුළු යුරෝපා රාජ්‍යයන් නියෝජනය කරමින් නාසා ආයතනය “උත්සාහය” හෙවත් Perseverance නමැති රොබෝ ක්‍රියාකාරී පරීක්ෂක යානය පිටත්කර හැරියේය. මේ විශේෂ යානයද අභ්‍යවකාශ ඉතිහාසයේ ඓතිහාසික ගනුදෙනුවක් ගැන රන් අකුරෙන් සටහන් තබන්නට සමත්ව තිබේ. ඒ මුල්වරට අඟහරු වෙතින් මහපොළොවට කඩා වැටුණු උල්කාපාතයක කොටසක් ඒ වෙත රැගෙන ගොස් එහි නැවත තැන්පත් කර ඒ බරට සරිලන අඟහරු පාෂාණ කොටසක් මෙලොවට ගෙන එන්නට කටයුතු කරන නිසාය. එවන් ගනුදෙනුවක් අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ සිදුවන්නේ මුල්වතාවටය. දෙවැනුව මේ යානය පිට ග්‍රහලොවක් වෙත යන මුල්ම හෙලිකොප්ටරය හෙවත් “මාර්ස්-කොප්ටර්” යානයද රැගෙන යන්නේය. එවැන්නක් සිදුවන මුල්ම ඓතිහාසික අවස්ථාවද මෙයයි.

වසර ගණනාවක සිට කළ උත්සාහවත් ක්‍රියාන්විතයක ප්‍රතිඵලය හැටියට ලෝකයේ මුස්ලිම් ආගමිකයන් සහ ආරාබි කලාපය නියෝජනය කරමින් Al-Amal හෙවත් Hope නැතිනම් “බලාපොරොත්තුව” නමැති යානය එක්සත් අරාබි එමිර් රාජ්‍යය මඟින් පිටත් කර යැවීය. එයද අභ්‍යවකාශයේ සිය පංගුව බෙදාගැනීම සඳහා අවස්ථාවෝචීතව කළ ඓතිහාසික අත පෙවීමකි. නමුත් ආරාබිය නමෝ විත්තියෙන්ම මේ යවා ඇත්තේ අඟහරු වටා යන කාලගුණ චන්ද්‍රිකාවකි. කෙසේ වුවද මේ කණ්ඩායම් 03 දැරූ ඓතිහාසික ප්‍රයත්නය දැන් සාර්ථක වී ඇත්තේය. එහි යථා ප්‍රතිපල යථා කාලයේදී අපට දකින්නට ලැබෙනු ඇත. ඒ බොහෝවිට ලබන වසර මුල් කාර්තුවේදීය.

 

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00