2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

ඇමෙරිකානු නැව් ආකෘතියකට පලු යන්න ප්‍රහාර!

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

කැලේ ගෝනා එලාගන්නට නොහැකි වූ විට ගෙදර ගෝන හමට තඩි බානවා යැයි  ගමේ කතාවක් තිබේ. හරියටම මේ කතාව සිහිපත් කරනා ආකාරයේ අමුතු වැඩක්, මැදපෙරදිග සිදුවූයේය. ඒ ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන ඇමෙරිකානු නෞකාවක් ලෙස සැකසුනු ආකෘතියකට ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකි.

ගල්ෆ් කලාපයට නිතර යාත්‍රා කරවනු ලබන ඇමෙරිකානු නෞකාවක ආකෘතියන් සැකසූ   ඉරානය, එම ආකෘතික නෞකාව විනාශ කර දැමුවේය. මෙම අභ්‍යාසයේදී ඉරානය කෙතරම් බරපතල ලෙස අවි ප්‍රහාර එල්ල කළේද යත් ඇමෙරිකාව විසින් සිය ප්‍රාදේශීය කඳවුරු දෙකක් තාවකාලිකව සීරැවෙන් තබනු ලැබීය. මෙය සිදුවී තිබෙන්නේ මැදපෙරදිග උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන හොර්මුස් සමුද්‍ර සන්ධියේදීය.

මෙය “ඉරානයේ වගකීම් විරහිත හා නොසැලකිලිමත් හැසිරීමක්” ලෙස හෙළාදුටු ඇමෙරිකානු නාවික හමුදාව එය හැඳින්වූයේ “බියගැන්වීමේ උත්සහයක් හා බලහත්කාරය පෑමක්” ලෙසිනි. ඉරානය මෙම අභ්‍යාසයේ යෙදුනේ ගල්ෆ් කලාපය තුළ වොෂිංටන් පාලනය හා ටෙහ්රාන් පාලනය අතර උණුසුම ඉහළ යමින් තිබෙන වකවානුවකදීය.

ඇමෙරිකාව විසින් ගල්ෆ් කලාපයට නිතර යාත්‍රා කරවනු ලබන නෞකාවක් අනුසාරයෙන් සැකසුනු ආකෘතික නැවෙහි ගොඩබෑම් පථය දෙපස ප්‍රහාරක ගුවන් යානා ආකෘති රඳවා තිබිණි. විවිධ කෝණවලින් විදින ලද මිසයිල අතරින් ඇතැම් ඒවා නෞකාවට ඉලක්ක කෙරිණි. “14 වෙනි මොහොමඩ් ශාස්තෘවරයාණන්” ලෙස එම අභ්‍යාසය නම්කර තිබුණි.