2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

මෝදිට ලෙඩේ දැම්ම ප්‍රංශ රෆායෙල් යානා ඉන්දියාවට එයි!

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 333

ඉන්දියාව සහ චීනය අතර මතභේද උත්සන්නව ඇති මොහොතක ඉන්දියාව සිය ප්‍රහාරක ගුවන් යානා බලඇණිය ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රංශයෙන් රෆාල් ප්‍රහාරක ජෙට්, ගුවන් යානා 5ක් ඉන්දීය ගුවන් හමුදාවට ලැබී ඇත. ඔවුන් ප්‍රංශයෙන් ප්‍රහාරක ගුවන් යානා 36ක් කලින් ඇණවුම් කර තිබුණි. ඊට අදාළ ගිවිසුම් අත්සන් කළේ 2016 දීය. මේ ලැබුණේ ඉන් ප්‍රථම ගුවන් යානා 05ය. ඉතිරි ප්‍රහාරක යානා 31 ඉදිරි 2021 වසර නිම වීමට පෙර ඉන්දියාවට ලැබීමට නියමිතය.

ප්‍රංශයෙන් රෆාල් ප්‍රහාරක ජෙට් යානා 36ක් මිලදී ගැනීමේ මෙම ගනුදෙනුව රට තුළ මහත් ආන්දෝලනයක් මතු කළේය. එයට අදාළව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විපක්ෂයෙන් චෝදනා එල්ල විය. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 8.7ක් වටිනා මෙම ගනුදෙනුවේදී දේශීය සහකරැ තෝරා ගැනීමට ඉන්දීය රජය මැදිහත් වූ බවට ප්‍රංශයේ හිටපු ජනාධිපති ෆ‍්‍රාංශුවා හොලාන්ඩ් සිදුකළ හෙළිදරව්වකින් අනතුරුවය.

රුසියානු ප්‍රහාරක යානා ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීමේ දිගුකාලීන පළපුරැද්දක් සහිත හින්දුස්ථාන් ඒරොනොටික්ස් සමාගම වෙනුවට ප්‍රංශ ජෙට් යානා නිපදවීමේ දේශීය සහකරැ ලෙස 2016 වසරේ සිදුවූ ගනුදෙනුවේදී තෝරා ගැනුණේ අම්බානිවරැන්ගේ රිලායන්ස් සමූහයයි.

විනිවිදභාවයකින් තොරව සිදුවූ මෙම ගනුදෙනුව හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ඉන්දීය කොංග්‍රස් පක්ෂය බල කර තිබුණි. මේ  ආන්දෝලනයට හේතු වූ ප්‍රංශ නිපැයුමක් වන රෆාල් ප්‍රහාරක යානා, බහුකාර්ය යානා වර්ගයක් වන අතර දුර පිහිටි ගොඩබිම සහ සාගර ඉලක්ක කරා ප්‍රහාර එල්ල කිරීමට එම යානා භාවිත කළ හැකිය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00