2020 ජුලි 25 වන සෙනසුරාදා

චීන-අමෙරිකා හුටපටය නැවතත්!

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

චීනය බුද්ධිමය දේපළ සොරකම් කරන නිසා මෙම තීරණය ගත් බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසුවේය. එහෙත් චීනයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ එය “අතිශයෝක්තියෙන් යුතු හා අයුක්ති සහගත චෝදනාවක්” බවයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන විදෙස් කටයුතු අමාත්‍යාංශය එක්සත් ජනපද තීරණය විවේචනයට ලක් කළේය. 

වොෂිංටන්හි පිහිටා ඇති චීන තානාපති කාර්යාලයට අමතරව චීන කොන්සියුලර් කාර්යාල 5ක් ඇමෙරිකාවේ ස්‌ථාපිත කර ඇත. නමුත් හූස්ටන් හි පිහිටි කොන්සියුලර් කාර්යාලය විශේෂයෙන් නම් කිරීමට හේතුව අපැහැදිලිය.
එක්සත් ජනපදය හා චීනය අතර කලක සිට ආතතීන් ඉහළ යමින් තිබුණි. වෙළඳාම සහ කොවිඩ් වසංගතය මෙන්ම චීනය හොංකොං මත මතභේදාත්මක නව ආරක්ෂක නීතියක් පැනවීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය බීජිං සමඟ නැවත නැවතත් ගැටුම් ඇති කර ගත්තේය.

ඉකුත් අඟහරුවාදා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් කොවිඩ් - 19 එන්නත නිපදවන විද්‍යාගාර ඉලක්ක කරගත් හැකර්වරුන්ට චීනය අනුග්‍රහය දක්වන බවට චෝදනා කළේය. එක්සත් ජනපද පර්යේෂණ සමාගම් පිළිබඳ ඔත්තු බැලූ සහ වෙනත් සොරකම් සඳහා රාජ්‍ය නියෝජිතයින්ගේ සහාය ලබාගත් චීන ජාතිකයන් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත විසින් සිදුකළ ඡන්ද විමසීමකදී ඊට පිළිතුරැ දුන් චීන වැසියන් බහුතරය ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනපදයේ නියෝගයට ප්‍රතිචාර වශයෙන් චීනයේ පවත්වා ගෙන යන එක්සත් ජනපද කොන්සල් කාර්යාලය වසා දැමීමට චීන රජය පියවර ගත යුතු බවයි.

 

► සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි