2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

රුසියානුවෝ ක්‍රෙම්ලිනය වටලති

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 155

රුසියාවේ ව්ලැඩිවොස්ටොක් ඇතුළු ප්‍රධාන පෙළේ නගර 82ක මාවත් පුටින් රජයට එරෙහි මහා ජන උද්ඝෝෂණකරුවන්ගෙන් පිරී ගියේය. පුටින් රජයේ දූෂණ වංචාවන්ට එරෙහිව ඉරිදා දිනයේ වීදි බැස්ස මේ මහා ජනසන්නිපාතය එහි සංවිධායකවරුන් පවා විමතියට පත්කළ තරම් මහා එකතුවක් විය.

පුටින් රජය මේ විරෝධතාවයට පිළිතුරු දුන්නේ බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීමකිනි. මේ අත්අඩංගුවට ගත් අය අතර ප්‍රධානියා වූයේ එහි විපක්ෂයේ නායක ඇලෙක්සෙයි නවාල්නිය. ඔහු පුටින් විවේචනය කරමින් මේ වනතුරුත් යහතින් ඉන්නට වරම් ලත් එකම තැනැත්තාය. අත්අඩංගුවට ගනු ලැබූ ඇලෙක්සෙයි හට ඩොලර් 350ක දඩයක් නියම කළේ නීති විරෝධී ජනාරාශියට අනුබල දීම සම්බන්ධවය. ඒ හැර ඔහු දින 15ක් සිරගත කරන්නට යෙදිනි.

විපක්ෂ නායකයා හිර ගෙදරට

ඇලෙක්සෙයිගේ ප්‍රබල විවේචනයට ලක්වූ තැනැත්තා වූයේ පුටින් නොවේ. එරට අගමැති දිමිත්‍රි මෙදෙව්දේව්ය. ඔහු බලයේ සිටියදී සැප මාලිගා, සුඛෝපභෝගී විනෝද යාත්‍රා මෙන්ම වයින් වතුද තොග ගණනින් අයථා ලෙස රැස්කර ගත් බව ඔහුගේ ප්‍රධාන විරෝධය විය. රටට පාන් කියා ගන්නට බැරිව සිටියදී අගමැතිවරයා මේ සැප සම්පත් ලබාගත් ආකාරය එළිදරව් කළ යුතු යැයි විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

සිර කුටියට යන්නට පෙර ඇලෙක්සි කීවේ අද අපි සිරකරන කුටිය හෙට උන්හට හිමිවන බවය.

අගමැතිට එරෙහිව දහස් ගණනක් වීදි බසිති

මේ විරෝධතාවට එක්ව සිටි බහුතරය තරුණ පෙළය. උන් රන් රිදියෙන් නාද්දී අපි බඩගින්නේ යැයි කියමින් එළියට බැස්ස, මේ විප්ලවය අමුත්තක් නොවූ රුසියාවේ තරුණ පෙළගේ නැගිටීම වෙත පුටින් ජනාධිපතිවරයාගේද දැඩි අවධානය යොමුව ඇත. විරෝධතාව කෙළින්ම එල්ල වී ඇත්තේ පුටින්ට නොවේ. බහුතරයගේ විශ්වාසය රටේ මේ ආර්ථික ඇදවැටීම පුටින් නිසා හටගත්තක් නොවන බවය. ඇලෙක්සිගේ උද්ඝෝෂණයද කෙළින්ම විවේචනයට ලක්කරන්නේ රජයේ අනෙකුත් බලධාරීන්ය. රුසියානුවන් නව ලෝකයක් බලාපොරොත්තු වන බව මේ උද්ඝෝෂණවල සැඟවුණු අරුතය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00