2020 ජුනි 27 වන සෙනසුරාදා

ඉන්දු-පාකිස්තාන් අවුල-ඇවිළෙයි!

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184

ඉන්දියාවේ නවදිල්ලිහි පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් සිටි තානාපති නිලධාරීන් පිරිසක් සිය රටින් නෙරපීමට ඉන්දියාව ක්‍රියා කර තිබේ. ඒ සමඟ දෙරට අතර නොසංසුන් තත්ත්වයක් වාර්තා වී ඇත. දින 7 ක් ඇතුළත කාර්යමණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව හරි අඩකින් අඩු කරන ලෙස ඉන්දියාව, නවදිල්ලියේ පිහිටි පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබුණි. ඔත්තු බැලීම සහ ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත් වූ බවට එම නිලධාරීන්ට චෝදනා එල්ල කර තිබේ.

පසුගියදා පකිස්ථානයේ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ සේවකයන් දෙදෙනකු පකිස්ථාන බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගත්තේය. පකිස්ථානය සඳහන් කළේ, රිය අනතුරක් සිදු කර පළා යෑම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවය. කෙසේවෙතත් අත්අඩංගුවේ සිටියදී එම නිලධාරීන්ට දැඩි වදහිංසා පමුණුවා තිබූ බව ඉන්දියාව ප්‍රකාශ කළේය. පකිස්ථානයේ ක්‍රියා කලාපය කොන්සියුලර් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සම්බන්ධයෙන් එළඹි ද්වීපාර්ශ්වික එකඟතාවයන්ට පටහැනි බව ද ඉන්දියාව චෝදනා කර තිබුණී.

ඔත්තු බැලීමේ සහ ත්‍රස්ත සංවිධාන සමඟ සබඳතා පැවැත්වීම යන චෝදනා එල්ල වූ පකිස්ථාන රාජ්‍යත්‍රාන්ත්‍රික නිලධාරීන් දෙදෙනකු ඉකුත් මැයි මස 31 වැනිදා ද සිය රටින්  පිටුවහල් කිරීමට ඉන්දියාව පියවර ගත්තේය.

ඉන්දියාව පවසන්නේ පකිස්ථානයේ මෙම හැසිරීම් වියානා සම්මුතියට පටහැනි බවයි. මෙයට සමගාමීව පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවක මණ්ඩලය ද අඩකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය මේ වනවිට තවදුරටත් උත්සන්න වෙමින් පවතියි. කොවිඩ් වසංගතයෙන් තදින්ම බැට කන ඉන්දියාව හිමාල දේශ සීමා අර්බුදයක ද ගිය සතියේ චීනය හා පැටලුණේය. ඉන්දු -පාකිස්ථාන් දෙරට අතර ඇත්තේ ද දිගුකාලීන අවුලකි.

 

► සංස්කරණය:  සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00