2020 ජුනි 27 වන සෙනසුරාදා

මුකේෂ් අම්බානි ලෝක ධනවතුන් අතරට!

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 362

ඉන්දියාවේ විශාලතම සන්නිවේදන ජාලයේ හිමිකරු මුකේෂ් අම්බානි ලෝක ධනවතුන් 10දෙනා අතරට එක්ව තිබේ. ඉන්දියාවේ රිලයන්ස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායකයා වූ ඔහු ආසියාවේ ධනවත්ම තැනැත්තා ලෙස ද කීර්තිය දිනා සිටියේය.

බ්ලූම්බර්ග් දර්ශකයට ආසියාව නියෝජනය කරමින් ඔහු එක් වූයේ එහි 9 වැනි ස්ථානයටය. ඉකුත්  මාස තුනේදී  ඔහු සිය ජංගම දුරකථන සමාගමේ ගනුදෙනුවලින් අමෙරිකන් ඩොලර් බිලියන 16.5කට වැඩි ආදායමක් ඉපැයීය. ඒ අනුව ඔහුගේ ශූද්ධ වත්කම අමෙරිකන් ඩොලර් බිලියන 64.5ක් දක්වා ඉහළ ගියේය. ඉකුත්  2019 වනවිට ඔහු ආසියාවේ ධනවත්ම පුද්ගලයා වූ අතර ලොව ධනවත්ම පුද්ගලයන් අතරින් 13 වැනි ස්ථානය හිමිකර ගෙන සිටියේය. 2010 දී මුකේෂ් විසින් ලොව විශාලතම බිම් මට්ටමේ ඛනිජ තෙල් පිරිපහදුව ඉන්දියාවේ ජම්නගර්හි නිර්මාණය කරන ලද අතර එමගින් වසරකට ටොන් මිලියන 33ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත. මුකේෂ් ඉන්දියානු ප්‍රිමියර් ලීග් ෆ්‍රැන්චයිස් මුම්බායි ඉන්දියන්ස් හිමිකරු වන අතර ඉන්දියානු සුපර් ලීග්හි ආරම්භකයා ද වේ. 

මේ අතර චීනයේ ධනවත්ම මිනිසා බවට පත්වීමට Tencent Holdings Ltd සමාගමේ මා හුවටෙන්ග්  හෙවත්  "පොනී මා" සමත්ව ඇත. ඒ චීනයේ ධනවත්ම මිනිසා ලෙස සැලකෙන අලිබබා සමූහයේ නිර්මාතෘවරයා වන "ජැක් මා" අභිබවා යමිනි. ජැක් මාට හිමි ඩොලර් බිලියන 48ක ධනය අභිබවා ඩොලර් බිලියන 50ක හිමි ධනයක් හිමිකර ගැනීමට පොනී මා සමත්ව ඇත. විනෝදාස්වාදන මාධ්‍ය මෙන්ම ජංගම දුරකථන සම්බන්ධයෙන් කටයුතු කරන ඔහුද තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙකු ලෙසට සැලකෙයි.