2020 මැයි 09 වන සෙනසුරාදා

ලෝකේ පුරා බඩගිනි පෝලිම්!

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

ලෝකය මුළුමනින්ම වෙනස් වී තිබේ. කොවිඩ්-19 වසංගතය නිසාය. මේ වෛරසය නිසා ලෝක ආර්ථිකය නට්ටං වී ඇති තරම කෙතෙක්ද යත් මේ වනවිට ලෝකයේ රටවල් ගණනාවක බඩගිනි පෝලිම් දක්නට හැකිය. නුදුරුව එන ආහාර හිඟයක සහ ලෝක දරිද්‍රතාවක ලකුණු දැන් දැන් පහළ වී හමාරය.

තමන් ලෝකෙට ලොක්කා යැයි කයිවාරැ ගැසූ අමෙරිකාවේ මිලියන 30ක පමණ පිරිසකට වෛරස ව්‍යාප්තියත් සමඟ රුකියා අහිමිව ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පුණ්‍යායතනවලින් ආධාර ලබාගැනීමට යොමුව සිටිති. ආහාර ලබාගැනීම සඳහා දෛනිකව බොහෝ පිරිසක් පැමිණීම හේතුවෙන් දැන් එරට විශාලතම ආහාර බැංකුව වන ටෙක්සාස්හි හූස්ටන් ආහාර බැංකුව අසල දිගු වාහන පෝලිම්ද දක්නට හැකිය.

සාමාන්‍යයෙන් වර්ෂයකදී ආහාර රාත්තල් මිලියන 80ක් පමණ මෙමගින් නිකුත් කෙරැණත් දැන් කොවිඩ් වෛරස ව්‍යාප්තිය සමග දිනකට ආහාර රාත්තල් මිලියනයක් පමණ නිකුත් කිරීමට සිදුව ඇති බව එම ආයතනයේ බලධාරීන් පවසයි. 
මේ අතර කොවිඩ් 19 හේතුවෙන්  දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ලෙබනන් වැසියෝ  එරට ට්‍රිපෝලි අගනුවරදී විරෝධතා පාමින් පාරට බැස උන්හ. එරට මහ බැංකුව ඉදිරිපිටදී විරෝධතාවට එක් වූ ලෙබනන් වැසියන් ඉවතලන දෑ එකතුකර ගිනි තබමින් ගල් මුල්වලින් ආරක්ෂක අංශ වෙතද පහරදෙමින් සිය විරෝධය දක්වා තිබේ.  

කොරෝනා ව්‍යාප්තිය නිසා ලෙබනනයටද අගුළු වැටී ඇති එරට ආර්ථිකය විශාල කඩාවැටීමකට ලක්ව  තිබේ. ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යමින් පවතියි. එය දිගුකාලීන මූල්‍ය අර්බුදයක් දක්වාම වර්ධනය වී ඇති අතර ජනතාවට කුසගින්නේ සිටීමට සිදුව ඇත. කුසගිනි ඉවසාගත නොහැකිව මහත් පීඩාවකට පත්ව ඇති එම වැසියන්  පාරට බැසීමෙන් ඇති වූ කලහකාරී තත්ත්වය නිසා 07 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇත. ලෝක බැංකු පුරෝකථනයන්ට අනුව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ලෙබනන් වැසියන්ගෙන් 45කට වැඩි දෙනෙක් දුප්පත්කමට ඇදවැටී තිබේ.  

ඒ අතර රටපුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ ළමුන් මිලියන හතක් පමණ සාගින්නෙන් පෙළීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ. ආහාරවල මිල ඉහළයාම මෙම තත්ත්වයට හේතුව වනු ඇති බව ළමුන් සුරුකීමේ ජාත්‍යන්තර අරමුදල පෙන්වා දෙයි.