2020 මැයි 09 වන සෙනසුරාදා

හිරු නොබසින අධිරාජ්‍යයේ ඇමැති පදවි ලද ලංකා පුත්‍රයා!

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 299

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පසුගිය බදාදා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන එරට වෙළඳ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස පත් කළේය. ඔහු නව තනතුරට පත්කිරීමට බොරිස් ජොන්සන් කටයුතු කරනු ලැබුවේ එම ධුරය දැරූ කොනර් බර්න්ස්  ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

2015 වසරේ සිට බ්‍රිතාන්‍යයේ ඊසාන දිග හැම්ප්ෂයර් කොට්ඨාසය නියෝජනය කරමින් ඔහු කොන්සර්වටිව් සභිකයෙකු ලෙස එරට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි. 2019 වසරේදී එවකට අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇයගේ වෙළඳ කටයුතු නියෝජිතයා ලෙසද රනිල් ජයවර්ධන මහතා පත්කරනු ලැබිණි. මේ වනවිටත් එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන හෙතෙම එරට ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. වෘත්තීයෙන් බැංකු කළමනාකරුවෙකු වූ හෙතෙම තරුණ අවදියේම කොන්සර්වේටිව් පක්ෂ ක්‍රියාකාරිකයෙකුව කටයුතු කළේය. හෙතෙම 2008 වසරේදී බ්‍රිසින්ස්ටෝන් සහ ඩේන් නගර සභාවේ උප නගරාධිපති වශයෙන්ද කටයුතු කර ඇත. 

රනිල් ජයවර්ධන මහතාගේ පියා වන හොරණ අඟුරුවාතොට පදිංචිව සිටි නලින් ජයවර්ධන මහතා 1978 වසරේදී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් ඇත. ඔහුගේ මව ඉන්දීය ජාතික කාන්තාවක වේ. රනිල් ජයවර්ධන මහතා දෙදරු පියකු වන අතර ඔහු විවාහ වී සිටින්නේ ඇලිසන් නැමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සමගිනි. 1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන මහතා 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටින්නෙකි. ඔහු 2015 වසරේ මැයි 08 වැනිදා පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුව තේරී පත්වූයේ ඡන්ද 35,573ක් ලබා ගනිමිනි. ඉන්පසුව 2017 පැවති මහමැතිවරණයෙන්ද, 2020 ජනවාරි පැවති මැතිවරණයෙන්ද හෙතෙම ජයග්‍රහණය කළේය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00