2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

වසංගත මැද උඩුගුවනට ගිය යෝධ අන්තර්ජාල චන්ද්‍රිකා ජාලය STAR LINK!

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

මහ පොළොව වටා ගමන් ගන්නා චන්ද්‍රිකා 12000කින් සමන්විත සබඳතා ජාලයක් මගින් අධිවේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදෙන්නට ප්‍රධාන පෙළේ වානිජ අභ්‍යවකාශ කොම්පැණියක් වන SpaceX සැලසුම්කර තිබුණේ කලෙක සිටය. මේ ව්‍යාපෘතියට අයත් අලුත්ම චන්ද්‍රිකා 60ක් උඩුගුවනට යැවීමට එම සමාගම පසුගිය 22දා කටයුතු කළේය.

ලෝකයම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් තැතිගෙන සිටිද්දී SpaceX සමාගම වාර්තා පිට වාර්තා තබමින් තමන් ඇරඹූ අභ්‍යවකාශ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමට ක්‍රියාකළේය. මේ යානා උඩුගුවනට යැවීමට යොදාගත් Falcon 9 රොකට්ටුව මේ වනවිට වැඩිම වතාවක් උඩුගුවනට නැවත නැවත ගමන් කළ රොකට්ටුව ලෙස ඉතිහාසයට එක්වී හමාරය. ඉකුත් බදාදා ගමනත් සමග එය පිටපිට උඩුගුවට ගියේ මේ 84 වැනි වතාවටය. 

මෙම නවතම සංනිවේදන ජාලයට අයත් මුල් චන්ද්‍රිකා 60ක් 2019 මැයි වනවිට පෘථීවි කක්ෂයට යවා අවසන්ව තිබුණි. මේ ආයතනයේ ප්‍රධානියා වන එලෝන් මස්ක් 2019 ඔක්තෝබර් මාසය වනවිට ඒ චන්ද්‍රිකා මගින් මුල්ම ට්විටර් පණිවුඩයත් යවා හමාරය.2020 අගවනවිටදී මේ චන්ද්‍රීකා ජාලයට අයත් ඉතිරි තොගයත් උඩුගුවනට යවන්නට ඔවුන් සූදානම්ය. අවස්ථා 24කදි චන්ද්‍රිකා 60 බැගින් උඩුගුවනට යැවීම ඔවුන්ගේ සුදානමයි. අවම මට්ටමේ සාර්ථක ඉන්ටර් නෙට් සබඳතාවකින් ලෝකයම ආවරණය කරන්නට නම් අඩු තරමේ චන්ද්‍රිකා 400ක් වත් අවශ්‍යය. මධ්‍යම ප්‍රමාණයේ වේගයක සහිත ජාලයක් සඳහා චන්ද්‍රිකා 800ක් තිබිය යුතු බව සමාගමේ ප්‍රධානියා වන එලොන් මස්ක් කියා තිබේ. ලෝකයේ 23වන සල්ලිකාරයා වන එලොන් මස්ක් මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 38.4ක වත්කමක් දරන්නෙකි. ඔහුගේ ව්‍යාපාර සැලසුම් වැඩියෙන්ම යොමුව ඇත්තේ අභ්‍යවකාශය වෙතටය. එසේ වුවද කොවිඩ් 19 වසංගතය හමුවේ හිත උණු වූ මේ ප්‍රකෝටිපතියා පසුගිය මාසයේ තමන්ගේ සියලු අභ්‍යවකාශ සිහින දැකීම් නවතා දමා කොවිඩ් 19 රෝගින් මරණයෙන් බේරා ගන්නට අත්‍යවශ්‍ය ‘වෙන්ටිලේටර” හෙවත් හුස්ම ආධාරක ලහිලහියේ තනන්නට සිය සමාගම් වලට උපදෙස් දුන්නේය. මේ ජීවිතාරක්ෂක යන්ත්‍ර දහස් ගණන් ඔහු බෙදා දෙන්නට යන්නෙ නොමිලයේය. ඒ අතර ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි අන්තර්ජාලය ගොඩනැඟීමද ඔහු අත්හැර නැත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00