2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

වසංගතයට මුවා වී ට්‍රම්ප් ඡන්දේ කල්දමයිද?

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇමරිකාවේ සියලුම ප්‍රාන්තවල රෝගීන් වාර්තා වීම හා විශාල මරණ ප්‍රමාණයක් වාර්තා වීමත් සමග, නොවැම්බරයේදී පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ කල්දැමීමට සිදුවේදැයි  සැකයක්  මතුව තිබේ.

මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ දහනව දහසට ආසන්නව ඇත. ඒ රට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නිව්  යෝර්ක් ප්‍රාන්තයෙනි. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 45500කට ආසන්නය. ඇමරිකානු ජනාධිපතිවරණයේ මහජන ඡන්ද විමසීම සෑම වසර හතරකටම වරක් පැවැත්වෙයි. සෙනට් සභාවේ මන්ත්‍රීන් අතුරින් තුනෙන් එකක්  සඳහාද, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් තෝරා ගැනීම සඳහාද මැතිවරණ එදිනම පැවැත්වීම සිදුවේ. දැන් උදාවී ඇති තත්ත්වය අනුව, වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක මෙම මැතිවරණ පැවැත්විය හැකිද යන්න එරටේද දැඩි කතාබහකට ලක්ව තිබේ.

කෝවිඩ්-19 වසංගතය ඇමරිකාවේ වේගයෙන් පැතිරීම ඇරඹුණේ ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමේ ඡන්ද විමසීම් පවත්වමින් සිටි අතරතුරදීය. මෙය විවිධ ප්‍රාන්තවල විවිධ දිනයන්හි පැවැත්වෙන අතර හදිසියේ පැතිර ගිය, වසංගතය හේතුවෙන් ප්‍රාන්ත කිහිපයක මෙම ඡන්ද විමසීම් අවලංගු කරන්නට යෙදුණි. මෙම කල්දැමීම් පූර්වාදර්ශයක් කරගනිමින් නොවැම්බරයේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයත් කල් දැමීමට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවය උත්සාහ කරනු ඇතැයි දැන් සැකමතුව ඇත. කෝවිඩ්-19 වසංගතය පිළිබඳ ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකන් රජයේ ක්‍රියා පිළිවෙත අසාර්ථක වන බවක් පෙන්නුම් කිරීමත් සමගිනි.

කෙසේවුවද අමෙරිකාවේ ජනාධිපතිවරණය හිතුමතයේ කල්දැමීමේ හැකියාවක් නැත. ජනාධිපතිවරණය ඇතුළු කලින් සඳහන් කළ මැතිවරණ තුනම පවත්වන දිනය නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එන අඟහරුවාදා ලෙස ෆෙඩරල් නීති මඟින් තහවුරු වී තිබේ. මේ හේතුව නිසා එම දිනය වෙනස් කළ හැක්කේ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට පමණකි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00