2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

ජර්මානු අන්තඃපුරයේ තායි රජු LOCKDOWN

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 1158

තායිලන්තයද කොරෝනා වසංගතය හේතුවෙන් ලොක්ඩවුන් වී ඇත. ඒ අතර සෙල්ලක්කාරයකුවන තායි රජු, දකුණු දිග ජර්මනියේ රූමතියන් 20 දෙනෙකු සමග ලොක්ඩවුන් වී ඇත. තායිලන්තයේදී රජුට අපහාස කිරීම, දේවාපහාසයක් සේ බලවත් ය. රජුට අපහාස කළහොත් එය තායිලන්ත නීතිය යටතේ වසර 15 ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදකි. නමුත් මේ වතාවේ නම් රටවැසියන් බිය සැක පැත්තක තබා රජුගේ මේ ක්‍රියාව විවේචනය කරන්නට පටන් ගෙන තිබේ.

තායිලන්ත ජාතිකයන් සිය රජුට එරෙහිව වචනයක් පවා පැවසීමට සාමාන්‍යයෙන් මැලි වෙතත්, මේ වන විට ඔවුන්ගේ කෝපය සමාජ ජාල හරහා දෝරෙ ගලමින් තිබේ. මේ වන විට තායිලන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් 1651ක් වාර්තා වන අතර, 10 දෙනෙකු මිය ගොස් තිබේ. රජු මේ කම්සැප විඳින්නේ තායිලන්තයේ පළාත් 61 කොරොනාවට බිලිවී තිබියදීය.

ජර්මනියට ගොස් සිටින දසවැනි රාමා (King Rama X) නොහොත් මහා වජිරලෝන්කෝන් රජුට බැවේරියාවේ තරු හතරේ හෝටලයක් සම්පූර්ණයෙන්ම වෙන් කර ගැනීමට අවසර ලැබී ඇත. මේ කාලය තුළ මෙම සුපිරි හෝටලය රජුගේ තාවකාලික මන්දිරය ලෙස සැලකෙන බව ද වාර්තා වේ.  ඔහු සිය  අන්තංපුරය සමග ස්වයං නිරෝධායනයට ලක් වීමට තීරණය කර ඇත්තේ එතැනය.

ජර්මානු මාධ්‍ය විසින් ද මේ පුවත සනාථ කර තිබේ. ඔවුන්ට අනුව තායිලන්ත  රජුගේ පිරිවරට රිදී දෝලි 20 දෙනෙකුගෙන් සමන්විත අන්තංපුරයක් මෙම හෝටලයේ ලැඟුම් ගෙන සිටියි. මේ පිරිවර සමග පැමිණි පිරිමි පුද්ගලයන් 119 දෙනෙකු ආපසු තායිලන්තය බලා යවා තිබෙන්නේ කොරෝනා වෛරස් අවදානම පෙන්වාදෙමිනි.