2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

ලොක්කන්ගේ වැටුප ලොක්කන්ම කපා‍ෙගන?

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 245

සිංගප්පූරුව සුවිශේෂි දියුණුවක් ලැබූ රටකි. ලීක්වාන් යු නමැති ආදර්ශවත් නායකයාගේ දූරදර්ශි මඟ පෙන්වීම යටතේ අමුතුම ගමනක් ගිය රටකි. මේ අමුතු රටේ පාර්ලිමේන්තු ලොක්කෝ ඉකුත් සතියේ කොවිඩ්19 අතවරය අව්අස්සේ ලොකයේම ඇස්අරවන අපූරු වැඩක් කළෝය. ඒ තමන්ගේ මාස 03ක වැටුප කොවිඩ් 19 ආපදා අරමුදලට කපා ගන්නට ඉඩ දීමය. තමන්ගේම තඩි-පඩි කපන්නට යැයි තමන්ම අත උස්සා ඡන්දය දෙන ලෝකයේ එකම ඇමැති මණ්ඩලයට අයිතිව ඇත්තේ මේ සිංගප්පූරු හාදයින්ය. රටේ ජනපති, අගමැති, කතානායක, විපක්ෂනායක ඇතුළු සියලු රාජ්‍ය ප්‍රධානීහු මේ තීන්දුවට එකාවන්ව කැමැත්ත පල කළේ මෙයට පෙර මාසයක පඩිය මෙලෙසම රටේ ජනතාව වෙනුවෙන් දන් දීමට එකඟවීමෙන්  පසුවය.

ලෝකයේ වැඩිම වැටුප් ලබන රාජ්‍ය නායකයා ලෙස අංක එකට ඇවිත් සිටින්නේද සිංගප්පූරැවේ අගමැතිවරයාය.  රටේ දැනට නායකයා වී සිටින ලික්වාන් යූ ගේ පුතාය.  ඔහුගේ වැටුප මිලියන ගණනින් ලියැවෙන්නකි. ලෝකයේ රාජ්‍ය නායකයන් කිහිප පොලකටම වැටුප් ගෙවන්නට තරම් ඔහුගේ වැටුප ප්‍රමාණවත් බව කියැවේ. ලංකාවටත් පැමිණ ගිය ලී සින් ලුන්ග් වාර්ෂිකව ඩොලර් මිලියන 1.7ක (රුපියල් මිලියන 309.9ක්) පඩි ලබන්නේය. ඔහුගේ කැබිනෙට්ටුවේ සිටින සියල්ලෝ එබඳු තඩි-පඩි කාරයෝය. රටත් ජනතාවත් ගැන හිතා පටි තදකර ගන්නට සිතා ඇත්තෙ එවන් ඉහළ ආදායමක් සහිත එමෙන්ම ඉහළ මානව දයාවක් සහිත පිරිසකි. සිංගප්පූරු නියෝජ්‍ය අගමැති  හෙන්ග් වී කීට් ඉකුත් අඟහරැවාදා මේ අපූරැ තීන්දුව ගැන පාර්ලිමෙන්තුවේදි කිවේය.

ඒ අනුව එදා සිංගප්පූරු මැතිසබය තුළදි විනාඩි 90ක් ගතවන්නටත් කලින් සිංගප්පුරු ඩොලර් බිලියන 48ක සල්ලි මල්ලක් කොවිඩ් 19 සහන අරමුදලට එකතු විය.මේ අරමුදල මගින් කොවිඩ් 19 වසංගතයෙන් සිය වැසියන් බේරා ගන්නට දිවා රෑ නොතකා සේවය කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අතිරේඛ මාසික වැටුපක් බෝනස් මුදලක් ලෙස ගෙවන්නටද නියමිතය.