2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

දින 21ක් ඉන්දියාව වහයි: ජනතාව මහ රෑ බඩුගන්න පෝලිම්වල

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 115

බිලියන 1.3ක ඉන්දියානුවන් පිරිසක් සිය නිවෙස්වලින් බැහැරට යා නොහැකි වන ලෙස කොටු වී සිටිති. කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ සමස්ත ඉන්දියාවේ කටයුතු අක්‍රීය කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගැනීමත් සමගිනි. මෙම අක්‍රීය තත්ත්වය දින 21 ක කාලයක් සඳහා බල පැවැත්වෙයි. ඒ අනුව 24 රාත්‍රියේ එරට බිලියන 1.3ක් වූ ජනතාවට නියෝග කෙරුණේ සියල්ලන්ම නිවසට වී සිටින ලෙසත් රෝග පාලනය සදහා සහය ලබා දෙන ලෙසත්ය.

මේ සමඟ ඉදිරි දින 21 සඳහා අවශ්‍ය ආහාර සදහා භාණ්ඩ මිලදී ගැනීමට තමන්ට නොහැකි වනු ඇතැයි යන භීතියෙන් යුතුව ඉන්දියාවේ මාර්ග වැසෙන්නට ජනතාව රැස් වූහ. ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ මිලදී ගැනීම සදහා ඔවුන් ඉතා නොසැලකිලිමත් ලෙස හා කලහකාරී ලෙස හැසිරුණ බව මාධ්‍ය වාර්තා කරයි.

India today වෙබ් අඩවිය සදහන් කරන්නේ මධ්‍යම රාත්‍රියේ ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමන බව රූපවාහිනිය ඔස්සේ අගමැතිවරයා විසින් නිවේදනය කර අවසන් වන්නටත් පෙර ජනතාව වෙළඳ සල් කරා ගොස් තිබූ බවයි. ඒ අනුව අගමැතිවරයා නිවේදනයේදී ඉල්ලා සිටි පරිදි සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම හා ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් සම්පූර්ණයෙන්ම අමතක කරමින් ඔවුන් කටයුතු කළ බව මාධ්‍ය වාර්තා කරයි. මධ්‍යම රාත්‍රී 12න් පසු රට සම්පූර්ණයෙන්ම වසා දැමෙන බව අගමැතිවරයා නිවේදනය කළේ රාත්‍රී 8 ට වන අතර එතැන් පටන් ජනතාව මහ මඟට බැසි අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමට උත්සුක වී ඇත. කෙසේ වෙතත් අගමැතිවරයා ජනතාව ඉදිරියේ පොරොන්දු වූයේ නිවෙස් වලටම වී රැඳී සිටින ජනතාව වෙත රජය මගින් අත්‍යවශ්‍ය සේවා සපයාදීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

කොරෝනා වෛරසය ආසාදිතයින් 671 දෙනෙකු බ්‍රහස්පතින්දා වනවිට ඉන්දියාවේ හඳුනාගෙන සිටි අතර පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබුණි. සුවය ලැබූ රෝගීන් ගණන 43කි. කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ අන් රටවලට වඩා වැඩි අවදානමකට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි අපේක්ෂාවෙන් ඉන්දියාව දින 21ක් සදහා සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට රජය තීරණය කරන ලදී,

 


► සුගත් පී. කුලතුංගආරච්චි