2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

කියුබාවේ විප්ලවීය ආදර්ශය!

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 255

අභීතව උපක්‍රමික ලෙස අවදානමට මුහුණදීම සම්බන්ධයෙන් ලෝක සම්මානයක් රටකට පිරිනැමෙනවා නම් එය හිමිවිය යුත්තේ කියුබාවටය.  චීනයේ කොරෝනා පැතිරීම දරුණු ලෙස ඇරුඹීමත් සමඟම වාගේ කියුබාව එයට මුහුණදීමට ලකලැහැස්ති විය. ඔවුහු ඇඳන් 3200ට වැඩි රෝහලක් ඒ සඳහා වෙන්කළහ. මුලින්ම මේ රෝහලට නිරෝධායන කටයුතු සඳහා යොමු කළේ ලෙඩේ හදාගන සිය රටට ආ පිටරුටියන්ය. ඒ ඉතාලි ජාතිකයන් තිදෙනෙකි. 

මේ වනවිට එරට වෛරසය පැතිරීම දැඩිව පාලනයට සමත්ව තිබේ. මරණ කිසිවක් වාර්තා වී නැත. රෝහල් තුළ සැකසහිත රෝගීන් ඇත්තේ 259කි. එයින් 90ක්ම විදේශිකයන්ය. නමුත් ඔවුන් තවමත් විදේශිකයන් පැමිණිම තහනම් කර නැත. ඒ මදිවාට රෝගයෙන් දැන් තදබල ලෙස බැටකා ඇති ඉතාලියේ සෞඛ්‍ය සේවා සඳහා උපකාර කිරිමට සිය වෛද්‍ය සහාය ලබා දීමටද ඉදිරිපත්ව සිටී. මේ වනවිටත් චීනය කොරෝනා සඳහා ප්‍රතිකාර කිරීමට තෝරාගෙන ඇති ඖෂධ 30ක් පමණ වන වට්ටෝරැවේ ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ කියුබාවේ නිෂ්පාදිත ඉන්ටෆෙරෝන් - බී, ඖෂධයයි. එය අතිසාර්ථකව දැන් ප්‍රථිකාර සඳහා යොදාගනු ලැබ ඇත.

ලෝක අවුලක් වූ මුවවැසුම් නැත්නම් ‘මාස්ක්‘ ප්‍රශ්නයට කියුබාව උත්තර සෙව්වේ අමුතුම ආකාරයකටය. රජය රටේ ඇඟලුම් කර්මාන්තශාලා සියලු අමතර වැඩ නවත්වා මුව වැසුම් නිෂ්පාදනයට යොමු කළේය. පැය කිහිපයකට වඩා මාස්ක් එකක් පළඳින්නට එපායැයි නිවේදනය කළ රජය මාස්ක් පහසුවෙන් ලබාගන්නට අවශ්‍ය පහසුකම්ද සැලසුවේය. එයින් නොනැවතී එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙදරදීම සෞඛ්‍යාරක්ෂිත මාස්ක් පහසුවෙන් නිපදවාගන්නා අයුරැ වීඩියෝ පටයක් නිපදවා රටටම කියා දුන්නේය. රටේ ජනතාව ඒ වීඩියෝව අනුව නිවසේ ඉතිරිව ඇති රෙදි කැබලි මගින් මාස්ක් සාදා එකදිගටම එකම මාස්ක් එක පැළඳ ලෙඩ නොවී ආරක්ෂා වන්නට කටයුතු කළහ. මේ වසංගත කාලේ කියුබාවේ සබන් හිඟයක්ද පවතී. අමෙරිකානු සම්බාධක නිසාය. ඒ වෙනුවට ඔවුන් තමන්ට හුරුපුරුදු සම්ප්‍රදායික ක්‍රමවේදයක් වන අළු හුණු ජලයේ දියකර  අත් සේදීමට කටයුතු කළහ.

එයින් නොනැවතුන කියුබාව ලෝකයම ප්‍රතික්ෂෙප කළ කොරෝනා නෞකාවට සිය රටේ වරායට එන්නට ඉඩ දුන්හ. ලෝකය පුරා එම braemar නැව හැඳින්වෙන්නට වූයේ කොරෝනා නෞකාව හැටියටය. ඒ මුලින්ම එහි රොගින් 5ක් වාර්තා වීමත් සමඟය. අමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක්ම මේ නැව භාර ගන්නට අකමැති විය. අන්තිමේ මුහුද මැද නිරෝධායනය කරන ලද නෞකාවේ සිටි පුද්ගලයින් 696 දෙනෙකු වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ. නැවේ සිටි හත්දෙනෙකු මියගොස් තිබුණි. අන්තිමේ කවදත් විප්ලවීය තීරණ ගන්නා කියුබාව එම නැවට සිය රටේ ආරක්ෂාව ආදරය සහ සැලකිලි ලබාදුන්නේ ලෝකයටම නව ආදර්ශයක් සපයමිනි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00