2020 මාර්තු 07 වන සෙනසුරාදා

නෙතන්යාහු 5 වැනි වරටත් අගමැති!

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

ඊශ්‍රායල් අගමැති ධූරය යළිත් හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හටම හිමිවිය. ඔහු නියෝජනය කරන ලිකුද් පක්ෂය වසරක් ඇතුළත එරට පැවති තෙවැනි මහ මැතිවරණයද ජයග්‍රහණය කර තිබේ. වැඩිම කලක් අගමැති පුටුවේ සිටි පුද්ගලයා වන ඔහු මේ බලයට එන්නේ 5 වැනි වරටය. විශේෂය වන්නේ වංචා දූෂණ චෝදනා මැද ඔහුවම බලයට තෝරා ගැනීමය. ඔහු එවැනි ජනකාන්ත චරිතයකි.

 

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව වංචා සහ දූෂණ චෝදනා රැසකි. මේ චෝදනා එල්ල වූ පසු ඔහුට එරෙහිව සහ පක්ෂපාතීත්වය පළකරමින් ජනතාව එරට ප්‍රධාන නගරවල වීථි බැස තිබුණි. අල්ලස් ලබාගැනීම, වංචා සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ ඊශ්‍රායලයේ නීතිපතිවරයා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව නඩු තුනක් පවරනු ලැබුවේය. අගමැති නෙතන්යාහු ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් ත්‍යාග ලබාගෙන ඇති බවටත් මාධ්‍ය ඔස්සේ වඩාත් හොඳ ප්‍රතිරෑපයක් නිර්මාණය කරවා ගැනීම සඳහා උපකාර ලබාදී ඇති බවටත් එහිදී ඔහුට චෝදනා එල්ල විය.

පසුගිය වසරේ අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවලදී ඊශ්‍රායලයේ පැවති මහ මැතිවරණවලින් පසු එරට දේශපාලනය අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබුණි. අගමැතිවරයා සම්බන්ධයෙන් වන ඉහත කී චෝදනා ප්‍රකාශයට පත් කෙරැණේ එවැනි පසුබිමකදීයි. අල්ලස් ලබාගැනීම, වංචා සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ ඊශ්‍රායලයේ නීතිපතිවරයා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව වෙන වෙනම නඩු තුනක් පවරා තිබේ. අගමැතිවරයා මෙම චෝදනා ගොනු කිරීම හඳුන්වනු ලැබුවේ “කුමන්ත්‍රණ උත්සාහයක්” ලෙසය. එමගින් අපහාසාත්මක ක්‍රියාවලියක යෙදී ඇති බවත් ඔහු කියා සිටී. තමා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවන බව අවධාරණය කළ අගමැතිවරයා එසේ කිරීමට නීතියෙන් බැඳී නැති බවත් සඳහන් කළේය.

ඒ අතර රාජ්‍ය මුදල් අවභාවිත කර වංචා සිදුකිරීමේ චෝදනා යටතේ ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බිරිඳට එරෙහිවද නඩුවක් පවරා තිබිණි. සාරා නෙතන්යාහුට එරෙහිව අධිචෝදනා ගොනුකරන ලද්දේ අගමැති නිල නිවසේ උත්සව අවස්ථා සඳහා ආහාර සැපයීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් අවභාවිත කර ඇති බව පවසමිනි. පරීක්ෂණයකින් අනතුරුව විශ්වාසය කඩකරනු ලැබීම යටතේද අගමැති බිරිඳට එරෙහිව නඩු පවරා තිබුණි. සාරා නෙතන්යාහු එම චෝදනා ප්‍රතික්ෂේප කළාය. සාරා නෙතන්යාහු සමග අගමැති කාර්යාලයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් එස්රා සෙයිඩොෆ්ට එරෙහිවද නඩු පවරනු ලැබ තිබුණි.

ඊශ්‍රායල් පාර්ලිමේන්තුව සෙනෙට් සභාව යනුවෙන් හැඳින්වෙයි. පසුගිය වසරේ අප්‍රේල් මස පැවති මැතිවරණයෙන් මෙන්ම සැප්තැම්බර් 17 වැනිදා පැවති මැතිවරණයෙන්ද නෙතන්යාහු සහ ඔහුගේ ලිකුද් පක්ෂයට හෝ ප්‍රතිවාදී අපේක්ෂක බෙනී ගෑන්ට්ස්ගේ නිල් සහ සුදු පක්ෂයට හෝ බහුතරය ලබාගන්නට හැකියාවක් ලැබුණේ නැත.

එම එකම වසරේ මාස 05කින් පසු ඊශ්‍රායලයේ පැවැති දෙවැනි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරමුණ ගෙන සිටියේ එරට විපක්ෂ අපේක්ෂක බෙනී ගැන්ට්ස්ය. ඔවුන් ආසන 33ක් දිනාගත් අතර බෙන්ජිමින් නෙතන්යාහුගේ පක්ෂය සඳහා ලැබුණේ ආසන 31කි. එවරද කිසිම පක්ෂයක් තනිව බලය පිහිටුවීමට අවශ්‍ය ආසන 57 සපුරා තිබුණේ නැත. ඒ අනුව ඊශ්‍රායලයට යළිත් වරක් මැතිවරණයකට යාමට සිදුවිය. වසරක් වැනි කෙටිකාලයක් තුළ එරට පැවැත්වූ එම  තෙවැනි මැතිවරණය ඊශ්‍රායලයට යළිත් වරක්  බෙන්ජමින් නෙතන්යාහු ලබාදුන්නේය.

නෙතන්යාහු, 1996 සිට 1999 වසර දක්වා කාල සීමාව තුළ එරට අගමැතිවරයා ලෙස කටයුතු කළේය. ඒ එරට ලාබාලතම අගමැතිවරයා ලෙස වාර්තාවක් තබමිනි. 1999 වසරේ මහා මැතිවරණයෙන් පසුව දේශපාලනයෙන් තාවකාලිකව සමුගත් නෙතන්යාහු නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 2002 වසරේදීය. 2006 වසරේදී එරට විපක්ෂ නායකයා බවට පත්වෙන නෙතන්යාහු 2009 වසරේ පැවති ඊශ්‍රායල් මහා මැතිවරණයෙන් පසුව එරට අගමැතිවරයා බවට පත්විය. එතැන් පටන් 2013 වසරේ, 2015 වසරේ හා 2019 වසරේ පැවති මහා මැතිවරණවලින් අනතුරුවත් එරට අගමැතිවරයා බවට පත්වෙන්නේ බෙන්ජමින් නෙතන්යාහුය. මේ වනවිට ඔහු එරට අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ 4 වැනි වරටය. ඔහු පාසල් අධ්‍යාපනය ලබන සමයේ ඔවුන්ගේ පවුල ඇමෙරිකා එක්සත් ජනපදයේ කාලයක් පදිංචිව සිටි බැවින් නෙතන්යාහුට හිබ්රැ භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාවද හොඳින් කතා කළ හැකිය.