2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

කෝවිඩ් 19 මාරාන්තික ’X’ රෝගයද?

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 218

කෝවිඩ් - 19 හෙවත්  නව කොරෝනා වෛරසය දැන් ගෝලීය ගැටලුවකි. එය ලෝකය පුරා පැතිර යාමේ අවදානම දැන් ඉහළය. මේ වනවිට අසාදිත ගණන 85,000ට ආසන්නය. මරණ ගණන 3000ට ආසන්නය. 34,000ක් සුවය ලබා ඇත. ලෝකය පුරා විද්වත්හු එයට පිළියම් සොයද්දී වෛරසය ගැන භයානකම කතාවක් පසුගියදා එළියට ආවේය. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරිනියක් වෙතිනි. ඇයට අනුව මෙබඳු භයානක වෛරසයක් හිස එසැවිය හැකි බවට වූ අනතුරැ ඇඟවීම බලධාරීන් වෙත ලබාදී ඇත්තේ මීට මාස 06 කට පෙර සිටය.

මනුෂ්‍ය සංහතියට දැඩි බලපෑමක් හැකි මාරාන්තික වෛරසයක් සම්බන්ධයෙන් නිකුත්කළ ඒ අනතුරු ඇඟවීම මගින් ඔවුහු එම මාරාන්තික වෛරසයෙන් ලොව මිලියන 80ක් මියයාමේ අවදානමක් සහිත රෝගයක් ගැන කියා තිබේ. මෙම අද්භූත රෝගය සඳහා 'X' යනුවෙන් එකල නම් තබා තිබුණේ අනාගතයේදී ඒ සඳහා නමක් ලබාදීම සඳහා බව Cell නම් වූ වෛද්‍ය සඟරාව වෙත ලිපියක් යොමුකරමින් එම වෛද්‍යවරිය  කියා ඇත. ඇය සඳහන් කළේ 'X රෝග' කාණ්ඩයට සම්බන්ධ බවට සැකකළ හැකි පළමු වසංගත රෝගය ලෙස කෝවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට පත්ව ඇති බවයි.

කෝවිඩ් - 19 පසුගියදා ප්‍රංශයේ සිය පළමු බිල්ල ගත්තේය. ඒ වෛරස ආසාදනයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකි. ප්‍රංශයෙන් කොරෝනා වෛරස ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී තිබුණි. ඉන් අයෙකු ඉතාලියේ සිට ප්‍රංශය වෙත පැමිණ තිබුණි. ඉතාලියේ මේ වනවිට ආසාදිතයින් 300 කට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 11කි. නව කොරෝනා වෛරසය ඉතාලියේ සිට තවත් යුරෝපා රටවල් කිහිපයකට ව්‍යාප්ත වී ඇති බව   වාර්තා විය. මෙතෙක් ආසාදිතයින් වාර්තා නොවූ ඔස්ට්‍රියාව, ක්‍රොඒෂියාව සහ ස්විට්සර්ලන්තය යන රටවලින් මේ වනවිට පළමුවරට ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා ඉතාලියේ  සිට පැමිණි පුද්ගලයින් බව වාර්තා වේ. ලතින් අමෙරිකානු රටක් වන බ්‍රසීලයෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා ද ඉතාලියේ සිට පැමිණි අයෙකු බවට තහවුරු වී තිබේ. අප්‍රිකානු මහාද්වීපයේ රටක් වන ඇල්ජීරියාවෙන්ද   ආසාදිතයෙකු හමු වී ඇති අතර ඔහුද ඉතාලියේ සිට පැමිණි අයෙකි. ස්පාඤ්ඤයට අයත් ටෙනරිෆ් දූපතේ හෝටලයක කොරෝනා වෛරසය ආසාදිත ඉතාලි යුවළක් සොයා ගැනීමෙන් අනතුරුව එම හෝටලය හුදෙකලා කර තිබේ. එම හෝටලය තුළ අමුත්තන් 1000ක් පමණ සිටිති. ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරින්ද ආසාදිත කාන්තාවක් වාර්තා විය. ඇයද මෑතකදී ඉතාලියේ සංචාරය කළ කාන්තාවකි.

මේ අතර  ඉරානයෙ 139 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර 19 දෙනෙකු මරණයට පත්ව ඇත. එරට පළාත් 14ක පාසල්, විශ්ව විද්‍යාල සහ සංස්කෘතික මධ්‍යස්ථාන වසා දැමීමට බලධාරීන් නියෝග කළේය. ජපානයෙන් මේ වනවිට පුද්ගල මරණ තුනක් වාර්තාවේ. දකුණු කොරියාව තුළ වෛරසය ව්‍යාප්තියේ සීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරයි. දකුණු කොරියාවෙන් හමු වූ මුළු ආසාදිතයින් ගණන 1261 දක්වා ඉහළ ගොස් ඇත. එරටින් පුද්ගල මරණ 11ක් වාර්තා වන අතර එම අගය ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. මේ අතර චීනයේ ආසාදිතයින් ගණන පහළ යමින් වෙනත් රටවල නව කොරෝනා ආසාදිතයින් ඉහළයාම ලෝක සෞඛ්‍යය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව ඇත. දුර්වල සෞඛ්‍ය පද්ධති ඇති රටවල් ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්ව ඇති අතර ඒ අතර අප්‍රිකානු කලාපය විශේෂය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00