2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

සැන්ඩර්ස් පුටින්ට දෙහි කපයි!

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

ලෝකයේ  දැනට සිටින ‘ඒකාධිපති තගෙක්’ වන රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්  අන්තර්ජාල ව්‍යාජ මාධ්‍ය මෙහෙයුමකින් අමෙරිකාව තුළ බෙදීමක් ඇති කිරීමේ උප්පරවැට්ටියක නිරත වී ඇතැයි අමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක බර්නි සැන්ඩර්ස්  පසුගිය සතියේ චෝදනා නැගුවේය. බර්නි සැන්ඩර්ස් මෙවර අමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාම යෝජනා දිනාගැනීමට වැඩි ඉඩක් ඇති පුද්ගලයාය. රටේ ප්‍රබල ඡන්ද පදනමක් ඇති ඔහු තමන්ගේම ආරකට වැඩකරන ඩිමොක්‍රටික් සමාජවාදියෙකි. 

“මම ට්‍රම්ප් නෙවෙයි! මම ඒ උප්පරවැට්ටියට දැඩි සේ එරෙහි වනවා වගේම අපේ මැතිවරණයන්ට මැදිහත්වන්නට හදන ඕනෑම විදේශ බලවේගයකට එරෙහි වෙනවා.” යැයි බර්නි සැන්ඩර්ස් කැලිෆෝනියාවේදී කීවේය. ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක බර්නි සැන්ඩර්ස්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට රුසියාව උදව් කිරීමට සූදානම් බවට පළ වූ පුවතක් හේතුවෙන් සැන්ඩර්ස් මේ දැඩි විවේචනය එල්ලකර තිබුණි. බුද්ධි අංශ වාර්තා පෙන්වා දී තිබුණේ ට්‍රම්ප්ව නැවත වරක් ජනාධිපති කිරීමේ අපේක්ෂාවෙන් පුටින්, ට්‍රම්ප්ගේ අනාගත එදිරිවාදියා වන සැන්ඩර්ස්ගේ ඡන්ද ව්‍යාපාරයට මැදිහත් වන්නට උත්සාහ කර ඇති බවයි.ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙසු ඇමරිකානු කොංග්‍රස් සභිකයන්, රුසියාව සැන්ඩර්ස්ගේ ඡන්ද ව්‍යාපාරයට සහයෝගය ලබාදෙන්නට උත්සාහ කරන බව කලින් සනාථ කර තිබුණි. නමුත් දිවහැරෙන අතට කතා කියන්නෙකු වන ට්‍රම්ප්, ඊටපසු දිනක නෙවඩාහි පැවති ඡන්ද රැස්වීමකදී රුසියාව සැන්ඩර්ස් සහයෝගය දෙන්නට යන කතාව, ඩිමොක්‍රටික්වරැන්ගේම නිර්මාණයක් බවත් එය හිතලුවක් බවත් කීවේය.

ඇමරිකානු ඔත්තු සේවා වාර්තාවන්ට අනුව 2016 වසරේ ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී රුසියාවේ පැහැදිලි මැදිහත්වීමක් තිබී ඇත. ඒ හේතුවෙන් අවසානයේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන් ඊමේල් අපවාදය ඇතුළු චෝදනා රැසකට ගොදුරු වෙමින් සුළු ඡන්ද ප්‍රමාණයකින් පරාජය ලැබුවාය. එවර ජනප්‍රිය ඡන්ද අනුව බලන විට නම් හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ ප්‍රථම ජනපතිනිය වීමට නියමිතව තිබිණි. දැන් ඒ උප්පරවැට්ටියම බර්නි සැන්ඩර්ස්ට එරෙහිව ක්‍රියාත්මකය.

සංක්‍රමණිකයෙකුගේ පුතෙකු වන බර්නි සැන්ඩර්ස්, ඇමරිකානු කොංග්‍රස් ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ තැනැත්තාය. බර්නි සැන්ඩර්ස් දැන් 78 හැවිරිදිය. කට කෑවත් කෙලින් කතාකරන අයෙක් ලෙස ඔහු ප්‍රකටය. 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී කැත්තට පොල්ල මෙන්  ට්‍රම්ප්ට වඩා හාත්පසින්ම වෙනස් ගුණාංගවලින් යුක්ත බර්නි සැන්ඩර්ස්මය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00