2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

හොස්නි මුබාරක් සමුගනියි!

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 105

ජන අරගලයකින් බලයෙන් පහකළ ඊජිප්තුවේ හිටපු ජනපති හොස්නි මුබාරක්  අභාවප්‍රාප්ත විය. පාලනය අහිමි වූ මුබාරක් දූෂණ වංචා මිනීමැරුම් ආදී චෝදනා මත සිරභාරයට ගත්තේය. ඇප මත මුදාහැරුණු හොස්නි මුබාරක් ජීවිතයේ අවසන් කාලය ගෙවා දැමුවේ පිළිකා රෝගියෙකු ලෙසිනි.

මොහොමඩ් හොස්නි සායිඩ් මුබාරක් 1928 දී උපත ලද ඊජිප්තු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. 1981 සිට 2011 දක්වා ඊජිප්තුවේ ජනාධිපති ධුරය දැරීය. මුබාරක් 1975 දී ඊජිප්තු උප ජනාධිපතිවරයා ලෙස පත් කරන ලද අතර, 1981 ඔක්තෝබර් මස 14 වැනි දින එවකට ඊජිප්තු ජනාධිපතිව සිටි අන්වර් සදාත් ඝාතනයට ලක්වීමෙන් පසු ඔහු ජනාධිපති වශයෙන් පත්විය. මුස්ලිම් අන්තවාදීන්ට එරෙහි දැඩි පිළිවෙත, ඊශ්‍රායලය සමඟ සාමයෙන් කටයුතු කිරීම වැනි සදාත් විසින් අනුගමනය කරන ලද, අභ්‍යන්තර හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රතිපත්ති එලෙසම ඉදිරියට පවත්වා ගෙන ගියේය. දේශපාලනයට පිවිසීමට පෙර ඔහු ඊජිප්තු ගුවන් හමුදාවේ නිලධාරියකු වූ අතර 1972 සිට 1975 දක්වා ඊජිප්තු ගුවන් හමුදාවේ අණදෙන නිලධාරියා විය. දශක තුනක් ඊජිප්තුව පාලන කළ හොස්නි මුබාරක් 2011වසරේදී ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරුණි. එම වසරේදී ඇති වූ ‘අරාබි වසන්තය’ විරෝධතා රැල්ලත් සමඟය.

ඒකාධිපති පාලකයකු ලෙස ප්‍රකට හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට විරෝධතාකරුවන් ඝාතනය කළ බවට 2010 වසරේදී චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනාවලට වරදකරු කරමින් සිරගත කෙරුණි. කෙසේ නමුත් 2017 වසරේදී එරට අධිකරණයක් විසින් ඔහු නිදහස් කරන ලදි. 

මුබාරක් කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ අතර මීට දින කිහිපයකට පෙර කයිරෝ අගනුවර හමුදා රෝහලකට ඇතුළත් කළේය. ඔහු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. හොස්නි මුබාරක් මිය යනවිට 91 වැනි වියේ පසුවිය.