2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

නාසා ආයතනයේ සජීවී කළු පරිගණකය නිහඬවෙයි!

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

නාසා ආයතනයේ ප්‍රමුඛ සහ මුල්කාලීන ගණිතඥවරියක වූ අප්‍රිකානු ඇමරිකානු ජාතික කැතරින් ජොන්සන් වයස අවුරුදු 101 දී සිය ජීවිතයේ අවසන් සුසුම හෙළුවාය.

මුල්කාලීන මර්කරි සඳතරණ ව්‍යාපෘතියේ සිට ඇපලෝ වැඩසටහනත් එහි සඳමත මිනිස් පියසටහන තැබූ ඇපලෝ 11 ව්‍යාපෘතියේත්, පසුකාලීන අභ්‍යවකාශ ෂටල වැඩපිළිවෙළේ මෙන්ම මෑතක ඇරැඹුණු අඟහරු වැඩසටහන්වලද යානාවන්ට අඳුරු අභ්‍යවකාශයේ රුදුරු බොරු වළවල් මඟහැර නිරුපද්‍රිතව නිවැරදිව නිසි ඉලක්කය කරා යන්නට පහසුම මග සොයාදුන්නේ කැතරින්ය.

සජීවී කළු පරිගණකය ලෙස නාසා තුළ හැඳින්වූ කැතරින් ජොන්සන්ගේ සැබෑ කතාව 2016 වසරේ ඔස්කා සම්මානය සඳහා යෝජනා වූ Hidden Figures චිත්‍රපටයටද මුල් විය. කළු ජාතික කාන්තාවක ලෙස කැතරින්ද ඇතුළුව නාසාහී සේවය කළ තවත් අතලොස්සක් කාන්තාවන්ට නාසාහී සේවයට එක්වන්නටත් එක්වූ පසුව එහි සේවය කරන්නටත් තිබූ බාධා අපමණය. නමුත් එකී අසාධාරණයන් අභියෝගයන් සේ සළකා සිය හැකියාව නාසා වෙත ඈ උපරිමව ලබාදුන්නාය. ඇගේ ජීවිත කථාව අප්‍රිකානු ඇමරිකානු කාන්තාවන් සතු වූ ගණිතමය හැකියාව ගැන සහ ධෛර්යය ගැන ලෝකයට අති විශාල පාඩමක් කියා දුන්නේය. 

1918 වසරේ අගෝස්තුවේ වෙස්ට් වර්ජිනියාහී කුඩා නගරයක කැතරින් උපත ලැබුවාය. කුඩා කළ අධ්‍යාපනය ලද ප්‍රාදේශීය පාසලෙන් 8 පංතිය දක්වා අධ්‍යාපනය ලද ඇය ඇතුළු කිසිදු කළු ජාතිකයෙකුට රජයේ පහසුකම් මැද ඊට වැඩිදුරක් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට වරම් නොලැබිණ. නමුත් ගණිතය කෙරෙහි වූ ඇගේ ආශාවත් දක්ෂතාවත් හේතුවෙන් දෙමාපියන් ඇයව මුදල් ගෙවා උගන්වන්නට තීරණය කළෝය. වයස අවුරුදු 14 වනවිට අසාමාන්‍ය දක්ෂතාවන් පෙන්වමින් විශිෂ්ඨයෙකු වූ ඇය වරිජිනියා විශ්වවිද්‍යාලයට අධ්‍යාපන වරම් ලැබුවාය. ගුරුවරුන් ආචාර්ය මහාචාර්යවරුන් පරදවන සුළු ගණිතමය හැකියාවත් තිබූ ඇය 1937 දී ගණිතය පිළිබද විශේෂ උපාධිය හිමිකර ගත්තාය. ඇගේ සමුගැන්ම ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිවේදනය කරමින් නාසා ආයතනය පවසන්නේ “වාර්ගික හා සමාජීය බාධක බිඳ දැමූ විශිෂ්ටත්වයේ උරැමය බඳු ඇගේ ජීවිතය”ට නාසාහී ගෞරව පුද කෙරෙන බවයි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00