2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

තුරුම්පුව නැවතත් ට්‍රම්ප් අතට!

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

අමෙරිකාව තුළ මෙතෙක් කලකට බිහිවූ ආන්දෝලනාත්මක පුවත් මවන්නා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඉකුත් සතියේ නැවත වතාවක් සිය හිතුවක්කාර පිළිවෙත අනුව යමින් ඔහු තමන්ට එරෙහිව ආ දෝෂාභියෝග විභාගයෙන්ද ජය ගත්තේය. ඒ අනුව දෙවැනි ධුර කාලය වෙනුවෙන් ලබන නොවැම්බර් මස 3වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැවති බාධා ඉවත්ව ගියේය. ඒ ගැන අනාවැකිය ඔහු කලින් දින, ජාතිය අමතමින් ඉදිරිපත් කළ වාර්ෂික දේශනයේදී පල කළේය. ඉදිරි සිව් වසර සඳහාද ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ තමා බවද අමෙරිකාව ඉදිරියටම ගමන් කරමින් සිටින බවත් කිසිදිනක පසුපසට නොයන බවද කී ඔහු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ට දැඩි විවේචනයක් එල්ල කළේය.

ජනාධිපතිවරයා එහිදී සෞඛ්‍යාරක්ෂණ සැලසුම හා ආර්ථිකය පිළිබඳවද අදහස් දැක්වූවේය. අනවසර පිටසක්වල ජීවීන්ට නොමිලේ සෞඛ්‍ය පහසුකම් දීමට බදු ගෙවන්නන්ට බලපෑම් කරන්නේ යැයි ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට චෝදනා කළ අමෙරිකානු ජනාධිපතිවරයා තමා බැරැක් ඔබාමාට වඩා විශිෂ්ටයකු බවද එහිදී නොකියා කීවේය. ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන්නැයි යුක්‍රේනයට බලපෑම් කිරීමේ සිදුවීම මුල් කරගනිමින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග චෝදනා ගොනුකළේ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් විසිනි.

ඔහුගේ කතාව අතරතුර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පෙලොසි ක්‍රියාකළ ආකාරය විදෙස් මාධ්‍යවල දැඩි ප්‍රචාරයට ලක්විය. මුලින් ජනාධිපතිවරයාට අතට අතදීමට ඇය උත්සහ කළත් ට්‍රම්ප් ඇය නොතකා ඉවත්ව ගියේය. පසුව කතානායිකාව ඊට ප්‍රතිචාර දැක්වූයේ ජනාධිපතිවරයාගේ කතාවේ පිටපත ඉරාදමමින්ය. 

ඊට පසුදින ඔහු කීවාක් මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය සෙනෙට් සභාව හමුවේ පරාජයට පත්විය. මේ අනුව සියලු චෝදනාවලින් ජනාධිපතිවරයා නිදහස ලැබූ අතර අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙසින් ඔහු ඉදිරියටත් කටයුතු කරන්නට තිබූ බාධා ඉවත්විය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානු සෙනෙට් සභාව ඉදිරියේ දෝෂාභියෝග චෝදනා දෙකක් ගොනුවී තිබුණි. ප්‍රතිවාදී ඩිමොක්‍රොටික් පක්ෂය ගෙනා මෙම චෝදනා ද්විත්වය වූයේ බලය අනිසි ලෙසින් භාවිත කිරීම සහ ඒ සම්බන්ධ විභාගයේදී කොංග්‍රසයට බාධා කිරීමයි. එහිදී බලය අනිසි ලෙසින් භාවිතකිරීම යන චෝදනාවට විපක්ෂව ඡන්ද 52ක් සහ පක්ෂව ඡන්ද 48ක් හිමිව තිබුණි. කොංග්‍රසයට බාධා කිරීම යන චෝදනාවේදී ට්‍රම්ප්ට පක්ෂව ඡන්ද 53ක් හිමිවෙද්දී, ඔහුට එදිරිව ප්‍රකාශ වී තිබුණේ ඡන්ද 47ක් පමණකි.

සෙනෙට් සභාව හමුවේ පැවැති මෙම දෝෂාභියෝග විභාගය සැලකෙන්නේ අමෙරිකානු දේශපාලනයේ ඓතිහාසික සිදුවීමක් ලෙසටය. මීට පෙරද අවස්ථා දෙකකදී අමෙරිකානු ජනාධිපතිවරුන් දෙදෙනකු වෙත මෙසේ දෝෂාභියෝග චෝදනා එල්ලවී තිබුණි. එවන් අවස්ථාවකට මුහුණ දුන් පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසින් 1868 සමයේ ධුර දැරූ ඇන්ඩෘ ජොන්සන් වාර්තා වන අතර දෙවැන්නා වන්නේ 1999 වසරේදී මෙවන් චෝදනාවකට මුහුණ දුන් ජනාධිපති බිල් ක්ලින්ටන්ය.

 

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:48