2017 මාර්තු 25 වන සෙනසුරාදා

ලන්ඩනය හෙල්ලුම් කයි

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

ලන්ඩනයේ මැද පාර්ලිමේන්තු සංකීර්ණය වෙතට සිය වාහනයෙන් කඩාබිඳගෙන ආ තැනැත්තෙකු පොලිස් නිලධරයකුටද පිහියෙන් ඇන මරා දැම්මේය. පොලිස් වෙඩි පහර ලබා ඔහුද මරු දකින අවස්ථාව වනවිට පස්දෙනකු මරණයට පත්ව සිටි අතර හතලිහකට වැඩි පිරිසක් වාහනයේ හැපීමෙන් අනතුරු ලබා තිබුණි.

කීත් පාල්මර් නමැති පොලිස් නිලධාරියා පිහියා ඇනුම් කෑමෙන් මියගියේ පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන දොරටුව අසලදීය. වෙස් මිනිස්ටර් පාලම ඔස්සේ වෙට්ටු දමමින් පැමිණි මෝටර් රියේ ගැටීමෙන් වළකින්නට සිතා තේම්ස් නදිය වෙත පැන්න කාන්තාවකටද පසුව දිවි අහිමි වූයේය. මේ හදිසි වියරු ප්‍රහාරයට මහමග ගමන්ගත් ප්‍රංශ ජාතික සිසුන් තිදෙනෙක් මෙන්ම කොරියානු ජාතිකයන් පස් දෙනෙක්ද ලක්ව තිබුණි.

අන්තර්ජාතික ත්‍රස්ත ක්‍රියාවන්ගෙන් උද්දාමයට පත්ව උන්මාදයට පත් කාලිඩ්  මසූඩ් නමැති තැනැත්ෙතකු මෙම ප්‍රහාරය සිදුකළ බව පොලිසිය වාර්තා කළේය. ලන්ඩනයේ හදවත මේ සිද්ධිය හේතුවෙන් පැය දෙකක කාලයකට නිසල වී ගියේය. ජනාකීර්ණ මාවත් පාළුවට ගොස් තිබුණි. ගිලන් රථ, හමුදා සහ පොලිස් රථවලින් වෙස්මිනිස්ටර් පාලම ඇතුළු පාර්ලිමේන්තු චතුරස්‍රය පිරී ගියේය. ලන්ඩනය පුරා ත්‍රස්ත භීතිය පැතිර ගිය අතර මේ තරම් අධි ආරක්ෂිත කලාපයකට හිතුමතයේ කාර් රථයක් පැදවීමට මේ තැනැත්තා සමත්වූ ආකාරය ගැන ලොකු කතාබහක්ද හටගත්තේය.

පිහියක් අමෝරා කඩාපැන්න ප්‍රහාරකයාට වෙඩි

ෆෝවීල් වර්ගයේ හුන්ඩායි ටක්සස් රථය එසෙක්ස්වල ලියාපදිංචි කළ එකකි. පොලීසිය පසුගිය බ්‍රහස්පතින්දා වනවිට සැකකරුට අයත් නිවාසය යැයි සැක කළ බර්මින්හැම්හි නිවසක් වටලා පරීක්ෂාවට ලක්කර තිබුණි.

අඟල් හත අටක් දිගැති පිහියක් අමෝරා ගෙන වාහනයෙන් පැන ආ මොහු පාර්ලිමේන්තු දොරටුව අසල සිටි පාල්මර් නිලධාරියාට පිහියෙන් ඇණ දෙවැන්නා වෙත ළඟා වෙත්දීම වෙඩි කා බිම වැටුණේය.

ඒ වනවිට පාර්ලිමේන්තුව තුළ සිටි මන්ත්‍රීවරුන් හා සේවක මණ්ඩලය පැය 2ක කාලයක් තුළ වෙස්ට් මිනිස්ටර් ඇබේ තුළ සිරවී සිටියහ. අගමැතිනිය තෙරේසා මේ වහාම අධි ආරක්ෂාව යටතේ ඉවතට රැගෙන යනු ලැබුණි. මේ සිද්ධිය හේතුවෙන් ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් ඉවත්ව යා යුතුද යන්න ගැන දෙවැනි ජනමත විචාරණයක් කැඳවීම ගැන වූ ඡන්ද විමසීමද කල් දමන්නට සිදුව තිබුණි.

මේ සිද්ධිය ගැන මුලින් අයිසිස්වරුන්ට දෝෂාරෝපණය නැගුණ අතර බ්‍රහස්පතින්දා දිනයේ ISIS පුවත් සේවාවක් වන ආමාක් ප්‍රචාරය කළේ මොහු තමන්ගේ ජිහාඩ්වරයකු බවය. ලන්ඩන් ආශ්‍රිත මූලධර්මවාදී ක්‍රියාකාරිකයකු වන අබු ඉසාද්දීන් මේ ප්‍රහාරකයා ලෙස වැරැදි ලෙස මුලදී හඳුනාගෙන තිබුණි. කෙසේ වුවද අවුරුදු 57ක් වන ආසියාතික සම්භවයක් ඇති ෙමම ප්‍රහාරකයා පිළිබඳව තොරතුරු එක්වරම එළියට දීමට පොලීසිය කටයුතු කළේ නැත. මේ හේතුවෙන් ලන්ඩනය ප්‍රමුඛ බ්‍රිතාන්‍යය තුළ මුස්ලිම්වරු ප්‍රමුඛ ආසියාතිකයෝ මහත් අපහසුවකට පත්ව සිටියහ. ලන්ඩනයේ නගරාධිපතිවරයා වන සාදික් කාන් දැන් ත්‍රස්ත ප්‍රහාර එදිනෙදා ජීවිතයේම කොටසක් බවට පත්ව ඇති බව කීවේය. ඔබට අපිව එයින් වෙන් කරන්නට බැහැ. ඔබ වගේම අපිත් ඒ ප්‍රහාරවල ඉලක්ක පමණයි ඔහු කියා තිබුණි. මේ අතර ලන්ඩන් බලධාරීන් මෙන්ම තෙරේසා මේ අගමැතිනියද පාරම්බා තිබුණේ මෙබඳු ප්‍රහාරවලට අපි බය නෑ කියාය. ප්‍රංශය බ්‍රිතාන්‍යයේ සිදුවූ මේ අබග්ගය ගැන ශෝකය පළකරමින් ඔවුන් තනි නොකළ බව කියන්නට අයිපල් කුලුණේ ආලෝකය මුළුමනින්ම නිවා දැම්මේය. ලෝකය පුරා රටවල් බ්‍රිතාන්‍යය වෙත ශෝකය පළ කරමින් ධෛර්යය ලබා දුන්නේය. මේ සිද්ධියෙන් පිහියා ඇණුම් කා මියගිය පොලිස් නිලධාරි කීත් පාල්මර් එක් මොහොතකින් ජාතික වීරයකු බවට පත්වුණේය. රටපුරා යුනියන් ජැක් කොඩිය අඩකුඹු කර තිබුණි.

මන්ත්‍රීවරු පැය 2ක් වෙස්මිනිස්ටර් ඇබේ තුළ හිරවෙති

තනි මිනිසකුගේ වියරු ප්‍රහාරයක් ලෙස මෙය ගැන සැකකළද තවත් උදව්කරැවන් සිටීද යන්න ගැන පොලිසිය පරීක්ෂණ අරඹා තිබුණි. ඒ අනුව තවත් හත් දෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය ස්ථාන හතක් වැටලූහ. ලන්ඩනය තුළට ගමනාගමනය, උමං මාර්ගයන් ඇතුළු සියල්ලම තාවකාලිකව නවතා දමා තිබේ. කෙසේ වුවද මේ සියලු අලකලංචි මැද අද ලෝකයේ මිනිසුන් පත්ව සිටින නොමිනිස් විගඩම්කාරී චිත්ත ස්වභාවය පිළිබිඹු කරමින් අර තරම් සෙනඟ කැළඹී එහේ මෙහේ දුවන පාලම අසල සිට සෙල්ෆියක් ගන්නට යන තැනැත්තෙකුද කරමුලින් අල්ලා ගන්නට පොලිසිය සමත්ව තිබුණි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00