2017 මාර්තු 25 වන සෙනසුරාදා

හනුමාන්! නැවත උපදියි

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

දකුණු ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ කතීහාර් ගම්මානය තුළ පසුගිය සඳුදා රෑ මහා කලබැගෑනියක් හටගත්තේය. හනුමන්තා දෙවියන් නැවත ඉපැදී ඇති බවට කටින් කට ආ ආරංචිය නිසාය. ඒ ගමේ වෙසෙන දරු හතර දෙනකුගේ මවක වන කලිදා බෙගම්ට දාව උපන් පස්වැනියා හේතුවෙන් මේ ආන්දෝලනය ඇතිව තිබේ.

තවම නමක් තබා නැති මේ දරුවා හට කිරි දීමත් මුලින් ඔහුගේ මව ප්‍රතික්ෂේප කර ඇත්තේ උපතින්ම ලැබී ඇති අමුතු පෙනුම නිසාය. එළියට නෙරා ආ ඇස් සහිත පුංචි ඔළුවේ ඇත්තේ ඝනවූ හමකි. මේ අමුතු පෙනුම මිත්‍යා විශ්වාසයන්ගෙන් පිරුණු දකුණු ඉන්දියානු ගම්මානය තුළ දරුවාට අත්කර දී ඇත්තේ අසාමාන්‍ය තත්ත්වයකි. ඇත්තෙන්ම වෛද්‍යවරුන්ට අනුවත් මෙය අසාමාන්‍ය තත්ත්වයකි. හාර්ලේකියුන් ඉක්තියෝසිස් ලෙස හැඳින්වෙන හිස්කබලේ කොටස් සහ මොළයේ සමහර කොටස්ද නිසි ලෙස වර්ධනය නොවීමෙන් හටගන්නා ජානමය රෝගී තත්ත්වයට මේ දරුවා ගොදුරු වී ඇති බව වෛද්‍ය මතයයි.

මේ තත්ත්වයේදී ශරීරයේ සම සාමාන්‍යයෙන් වර්ධනය වන වේගය මෙන් පස් ගුණයක වේගයෙන් වර්ධනය වීමට ගන්නා බව කියයි. මේ නිසා හම තට්ටු තට්ටු ලෙස තැන්පත් වන්නේ බ්‍රිතාන්‍ය රජ කාලේ යකඩ සන්නාහයක ඇති තහඩු තට්ටු ලෙසිනි. රෝගයට නම ලැබී ඇත්තේ ඒ අනුවය. 

ඉතා දුර්ලභ රෝගයක් වන මේ තත්ත්වයට ගොදුරු වූ දරුවන්ට වරින්වර අමතර සම ඉවත් කිරීමට සිදුව තිබේ. ජීවිත කාලය පුරාම ඖෂධ පිහිට පැතීමටද ඔවුනට සිදුවන බව කියයි.