2020 ජනවාරි 25 වන සෙනසුරාදා

හැරී-මේගන් නඩු දමයි!

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 437

බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්වූ හැරී-මේගන් යුවල දැන් නඩුමගට බැස තිබේ. පැපරාසින්ට එරෙහිවය. රජ පවුලේ උදවියට පැපරාසීන් අරුමයක් නොව කරුමයකි. ඩයනා කුමරියගේ ශෝකාන්තය පසුපසද පැපරාසි කතාවක් වූ හෙයින් හැරී කොහොමත් ඔවුන් ප්‍රියකළ අයෙක් නොවේ. මේ නිසාදෝ ඒ දෙපළ තමන් ලුහුබැඳ එන පැපරාසින්හට පාඩමක් උගන්වන්නට සිතූ සෙයකි. කැනඩාවේ රැඳී සිටින තම පවුලේ ඡායාරූප රහසිගතව ලබාගැනීම සම්බන්ධයෙන් පුවත්පත් ආයතන දෙකකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැරී-මේගන් යුවල තීරණය කිරිමත් සමඟ මාධ්‍ය කැළඹූ සතියේ පුවත බවට දැන් එය පත්ව තිබේ.

ඔවුන්ගේ නීතිඥවරුන් සඳහන් කර ඇත්තේ මේගන්, ආචි කුමරු සමඟ එළිමහනේ රැඳී සිටියදී ඡායාරෑප ශිල්පීන් විසින් සැඟව සිට අදාළ ඡායාරූප ලබාගෙන ඇති බවයි. ඒ අනුව අදාළ ඡායාරූප පලකළ පුවත්පත්වලට සහ වෙබ් අඩවිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැරී-මේගන් යුවල තීරණය කර ඇති බව එම නීතිඥවරුන් ප්‍රකාශ කර ඇත. ඔවුන් දෙදෙනා තාවකාලික පදිංචිය සඳහා පසුගියදා කැනඩාවට පැමිණියේය.

චාල්ස් සහ ඩයනා යුවලගේ දෙවැනි පුතු වූ හැරී කුමරු එංගලන්ත රාජකීය ධුරාවලියේ කිරුළට හිමිකම් කියන හයවැන්නාය. ඔහු අමෙරිකානු නිළියක වන මේගන් මාකල් සමඟ විවාහ වූයේ 2018 වසරේදීය. ඔහුට වඩා වසර තුනක් වැඩිමහල් වූ , දික්කසාද කාන්තාවක වන මේගන් සමඟ සිදුකෙරුණු විවාහය එකලද මාධ්‍ය තුළ මහත් කතාබහකට ලක්විය. විවාහයෙන් පසුව හැරී කුමරු සසෙක්ස් ආදිපාදවරයා ලෙසත් මේගන් කුමරිය සසෙක්ස් ආදිපාදවරිය ලෙසත් රාජකීය නම්බු නාම ලැබුවේය.

කෙසේ වෙතත් තමන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉවත් වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට අපේක්ෂා කරන බව ඔවුන් දෙපල පසුගිය ජනවාරි 08 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළෝය. ඉන්පසු ඔවුන් දෙදෙනා සිය පුතු සමඟ කැනඩාවේ සහ බ්‍රිතාන්‍යයේ විටින්විට දිවි ගෙවීමට සැලසුම් කර තිබුණි. හැරී කුමරුගේ සහ මේගන් කුමරියගේ මේ ඉල්ලීම රැජින විසින් පිළිගැනීමෙන් පසු ඔවුන්ට රජ පවුලෙන් උරුම වී තිබූ ඇතැම් වරප්‍රසාද අහිමි වී ගියේය.

බ්‍රිතාන්‍ය මහ රුජින නියෝජනය කරමින් උත්සවවලට සහභාගි වීම, රාජකීය නිල නම්බුනාම භාවිත කිරීම, නඩත්තුව සඳහා බ්‍රිතාන්‍ය මහජන මුදලින් ඔවුන්ට හිමි වූ පංගුව අහිමි වීම මේ අනුව සිදුවන නමුත් ඔවුන් දෙදෙනාට බ්‍රිතාන්‍ය තුළ පදිංචියට නිල නිවසක් හිමිය. එසේ වුවත් හැරී කුමරු තවදුරටත් බ්‍රිතාන්‍ය රාජකීය පෙළපතේ කිරුල හිමි හයවැන්නා ලෙසින් රැඳී සිටියි. එසේම “ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා කළ යුතු පුද්ගලයන්” ලෙස හඳුන්වන හැරී සහ මේගන්ට බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසියෙන් සන්නද්ධ ආරක්ෂකයින් යෙදවෙයි. සිය දෙවැනි නිවාසය ලෙස කැනඩාව තෝරා ගන්නා බව ඔවුන් කියා තිබුණි. මෙගන්, හැරී රජපවුලත් සමග ගනුදෙනු බේරා ගන්නා තුරැ මාස අටක් වියැති සිය පුතා ආචි සමඟ කැනඩාවේ කාලය ගත කළාය. මෙම පැපරාසි සිද්ධිය මතුව ඇත්තේ එහිදීය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00