2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ලෝකේ පුරා අඩු පඩි ගන්නා බ්ලියන භාගයක්! ඩාවෝස් නුවරදි බය හිතෙන එළිදරව්වක්!

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

මේ දිනවල ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයෝ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් වෙත රුස්ව සිටිති. ලෝකයේ ආර්ථික සහ පාරිසරික ප්‍රශ්න ගැන කතාකිරීමටය. නමුත් එහිදී එළිදරව් වූයේ දරුණු කාරණාවකි. එනම් ලොව පුරා බිලියන භාගයකට ආසන්න ජනතාවක් හරිහැටි ප්‍රමාණවත් වැටුපක් නොමැතිව තවමත් සිය සුදුසුකම්වලට සරිලන රැකියාවක් ලබාගැනීම සදහා අරගල කරමින් සිටින බවය.  

ඩාවෝස් නුවරදී වාර්ථාවක් නිකුත් කරමින් ගෝලීය අසමානතාව සහ දේශගුණික අර්බුදය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල්ඕ) කියා සිටියේ ලොවපුරා මිලියන 473 කට වැඩි පිරිසකට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට සරිලන අන්දමේ රැකියා අවස්ථා නොමැති බවයි. මේ හේතුවෙන් ඒකපුද්ගල දරිද්‍රතාව මෙන්ම ආදායම් විෂමතාවද ඉහළ ගොස් ඇති බව එම වාර්ථාව කියයි. හොඳින් වැටුප් සහිත රැකියා නොමැතිකම නිසා ලොවපුරා මිලියන 630කට අධික කම්කරුවන් දිනකට ඩොලර් 3.20ට වඩා එනම් ලංකාවේ මුදලින් රුපියල් 582.72කට අඩු ආදායමක් මත යැපෙමින් අන්ත හෝ මධ්‍යස්ථ දරිද්‍රතාවයෙන් පෙළන බව එය පෙන්වා දෙයි.

මෙම වාර්තාව නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ කම්කරු සංවිධානය තවදුරටත් පවසන්නේ පසුගිය දශකයක කාලය තිස්සේ වාර්තා වූ ඉහළම ගෝලීය විරුකියා තත්ත්වය පළමු වරට 2020 වසරේදී වාර්තා වනු ඇති බවයි. ලොව පුරා රාජ්‍යයන් අතරින් වාර්තා වන දුර්වල ආර්ථික වර්ධනය සහ ගෝලීය ආර්ථික වර්ධනය හේතුවෙන් රැකියාවලින් බැහැරව සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 2.5කින් ඉහළ යනු ඇති අතර ඒ අනුව සමස්තය මිලියන 190ක් දක්වා වනු ඇත.

ලොවපුරා බිලියන 5.7 ක ජනගහනයක් සිටින වැඩ කරන වයස් ජනගහනයෙන් මිලියන 165ක් පමණ සේවයේ යොදවා ඇති නමුත් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් වැටුප් සහිත පැය ගණනක් සමඟ රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත. තවත් මිලියන 119 ක් ඔවුන්ගේ පෞද්ගලික තත්වයන් නිසා සක්‍රීයව රැකියා සෙවීම අතහැර දමා හෝ රැකියා වෙළඳපොළට පිවිසීමට නොහැකිව සිටින බවද වාර්ථාව විසින් අනාවරණය කරයි. නිල වශයෙන් රැකියා විරහිතයන් ලෙස වර්ගීකරණය කර ඇති පිරිස ලෝකය පුරා මිලියන 473කට අධික බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00