2020 ජනවාරි 18 වන සෙනසුරාදා

රුසියාවේ බල පෙරැළියක්!

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 186

ලෝකයේ අවධානය මැද පෙරදිග සහ අමෙරිකාවේ දෝෂාභියෝගය වැනි කාරණා දෙස යොමුව පවතිද්දී රුසියාව මහා බල හෙයියම්මාරුවකට අතගැසුවේය. එරට අගමැතිවරයා ප්‍රමුඛ කැබිනෙට්ටුව ඉල්ලා අස්වීමත් සමඟිනි. පුටීන්ගේ සුවච කීකරු හිතවතා වන දිමිත්‍රී මෙද්වෙදේව් බදාදා ඉල්ලා අස්වූ පසු ඒ පුරප්පාඩුවට පත්කර ඇත්තේ රටේ කිසිවෙක් නමවත් අසා නැති තැනැත්තෙකි. ටැක්ස් ඔෆිසරයකු වන මිකායීල් මිෂුස්ටින්ය. මේ හදිසි වෙනස්වීම් වෙනදා ක්‍රෙම්ලිනය දෙසින් වාතයක් පිට වූවත් නොපමාවම අඬහැරපාන රාජ්‍ය නාළිකාවලින්ද ඒතරම් කතාබහට ලක්වූයේ නැත. ප්‍රධාන හොරණෑවක් වන මාධ්‍යයක් එය රටට කීවේ තමන් එවේලේ ප්‍රචාරය කරමින් තිබූ පුටින්ගේ නොමිලේ පාසල් දිවා ආහාර වැඩසටහන ගැන සිරිත් පරිදි නිමවී විනාඩි 20කට පමණ පසුවය.

තමන්ගෙන් පසු ජනපති පදවිය ලබන තැනැත්තාට හිමි යම් යම් බලතල ඉවත්කර එය අගමැතිවරයාට සහ පාර්ලිමේන්තුවට පැවරීම පුටින්ගේ අදහසයි. අගමැති ඇතුළු පිරිස ඉවත් වන්නේ ඉන්පසුවය. පුටින් ප්‍රසිද්ධ බලය අත්හරින්නෙකු ලෙස නොව  බලය පොදි ගසා ගන්නෙකු ලෙසටය. එවන් පුද්ගලයෙකු වන පුටින් හදිසියේ කල්යල් බලා ගත් මේ පියවර තුළ අනාගතයේ කලකට පසු සිදුවිය හැකි ඒකාධිපති පෙරුළියක සලකුණු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

පුටීන් මෙයට පෙර වතාවක් මෙබඳුම බල හෙයියම්මාරුවක යෙදුණේය. වසර 2008 දීය. ඒ වනවිට 2000 සිට පිට පිට අවස්ථා 2ක් ඔහු ජනපතිධුරය දරා තිබුණි. තවත් වාරයක් බලයේ ඉන්නට ව්‍යවස්ථාව ඉඩදුන්නේ නැත. ඒ අනුව බලය ලැබුණේ ඔහුගේ කීකරු හිතෛෂිවන්තයා වන මෙදේව්දේව් හටය. ඔහු පුටින් තමන්ගේ අගමැති ලෙස පත් කළේය. ඉන්පසු ජනාධිපතිවරයෙක් සතුව එතෙක් තිබූ වසර 4ක  ධූර කාලය වසර 6ක් දක්වා දිගු කළේය. ඒ කාලය තුළ රුසියාවේ නියම පාලනය ගෙන ගියේ පුටීන්ය. 2012න් පසු පුටීන් නැවත පුටුව ඩැහැගත්තේය. එකී පාලන කාලය කෙලවර වන්නට නියමිත 2024 දීය. දැන් පුටීන් කල්යල් බලා මේ සැරසෙන්නේ ව්‍යවස්ථාව උඩුයටිකුරු කරමින් බලය ඔහු අතෙහිම රැඳෙන සංශෝධනයකටය. පුටින්ගේ පාලනය එපා වී ඇති උදවිය 2019 වසරේ රටේ තැනින් තැන උද්ඝෝෂණ කළහ. විරෝධ රැල්ල ඉහළ යද්දී පුටින්ගේ සතුරන් එකිනෙකා අබිරහස් මරණවලට ලක්වූහ. දැන් ඒ විරෝධය සමනය සඳහා වූ අලුත්ම පුටීන් මෙහෙයුම “ව්‍යවස්ථා සංශෝධනය” අරඹා හමාරය. එහි කෙළවර බලයේ රැඳී සිටින්නේද පුටීන්මය. “අපිට ඉතින් රටේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් පුටීන් සිය කැමත්තෙන් සාමකාමීව ගෙදර ගියදාක තමා. වැඩකරලා එයාටම ඇතිවෙලා පැන්ෂන් ගත්ත දවසට තමා.” මේ ඒ රටේ සමහරු පුටීන් පාලනයෙන් හෙම්බත්ව සිටින ජනතාව කියන කතාවයි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00