2020 ජනවාරි 11 වන සෙනසුරාදා

මහා පරිමාණ සයිබර් මගඩියක්! චීන්නුන් 114ක් නේපාලයෙන් පන්නයි

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 123

නේපාලයේ රැඳී සිටි චීන ජාතික පිරිමින් 114ක් සහ කාන්තාවන් 08 දෙනෙක් එරටින් පිටුවහල් කිරීමට රජය කටයුතු කළේය. කත්මණ්ඩු නගරය මුලික කරගෙන පවත්වා ගෙන ගිය මහා පරිමාණ සයිබර් වංචාවක් සම්බන්ධයෙනි. පොලිසියට ලද ඔත්තුවක් අනුව නේවාසිකාගාර ලෙස පවත්වා ගෙන ගිය නිවාස 9ක් වටලා මේ පිරිස අත්අඩංගුවට ගනු ලැබිණි. මේ නිවාස තුළ තිබී මොබයිල් දුරකතන 700ක්, ලැප්ටොප් පරිගණක 331ක් සහ ඩෙස්ක්ටොප් 100කට ආසන්න ප්‍රමාණයක් සමග පෙන්ඩ්‍රයිව් සහ සිම් කාඩ්පත් තොගයක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

මුළුතැන්ගෙයක් සහිතව තට්ටු ඇඳන් රැඳවූ විශාල ශාලා ලෙස සැකසූ මේ සමූහ නේවාසිකාගාරවල රැඳී උන් පිරිස අතරින් බොහෝමයකගේ වීසා කල්ඉකුත් වූ හෝ නිතී විරෝධී ඒවා බව සනාථ වී තිබේ. නේපාලයේ මේ චීන සංක්‍රමණික වටලෑම සිදුවූයේ පිලිපීනයේ තහනම් සූදු ක්‍රීඩාවක් පවත්වාගෙන ගියබවට සැකපිට චීන ජාතික පිරිසක් අත්අඩංගුවට ගත් දිනට පසුදාය. නොවැම්බරයේ මැලේසියාවේදී චීන ජාතිකයන් 700ක්  අල්ලාගත්තේ ඔන් ලයින් මුදල් තැන්පත් මගඩියක් සම්බන්ධයෙනි.