2020 ජනවාරි 11 වන සෙනසුරාදා

අපායේ ගිනි මැද මහා ඔටු සංහාරයක්!

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 191

ඕස්ට්‍රේලියාව දැන් සිටින්නේ අපායේ ගිනිදැල් මැදය. පසුගිය සැප්තැම්බරයේ සිට ඕස්ට්‍රේලියාව දවා හලුකරමින් පැතිර යන ලැව්ගිනි ආපදාව තවමත් පහව ගොස් නැති හෙයිනි. දින කිහිපයක්  පැවති තරමක සිසිල් කාලගුණය සහ ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ලැව්ගිනි පැතිරයාම මඳක් පාලනය වුවද ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සිකුරාදා සිට තවත් ඉහළ යනු ඇති බවට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබුණි. ඒ අතර තවත් මහා පාපකර්මයකට බලධාරීහු අත ගසා තිබුණි.

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් වන ප්‍රදේශ හෙක්ටයාරයක් ඇතුළත ක්ෂීරපායි සතුන් 17.5ක්, කුරුල්ලන් 20.7ක් සහ උරගයන් 129.5ක සාමාන්‍යයක් දැකිය හැකි බව ඇස්තමේන්තු කර ඇත. (වර්ග මීටර 10,000ක ප්‍රදේශයක් වන මෙය ජාත්‍යන්තර රග්බි පිටියක ප්‍රමාණයට සමානය). ඒ දත්ත අනුව ඔස්ට්‍රේලියාව මුහුණ දී සිටින දරාගත නොහැකි උෂ්ණත්වය සහ නියඟයේ ප්‍රතිවිපාකයක් වශයෙන් “මිලියන 480ක්” සතුන් මියගොස් හෝ  අනතුරට ලක්ව ඇතැයි විශ්වාස කෙරේ. 

එබඳු තත්ත්වයක් උදාව තිබියදීත් සිය රටේ නිදැල්ලේ යන ඔටුවන් 13,000ක්  ඝාතනය කරන්නට බලධාරීහු තීන්දු කර තිබුණි. තුවක්කුකරුවන් හෙලිකොප්ටර් යානාවල සිට වෙඩි තැබීමෙන් එම මහා ඔටු සංහාරය  බදාදා  සිට ආරම්භ  විය. දැන් ඔටුවන්ට අමතරව වනගත අශ්වයන්ද මරාදැමීමට තීන්දුකරනු ලැබ ඇත. ඔටු සංහාරය කෙරෙන්නේ ඕස්ට්‍රේලියානු ආදිවාසී ගෝත්‍ර කිහිපයක් ජීවත්වෙන ජන ගණත්වයක් නොමැති, දකුණු ඕස්ට්‍රේලියාවේ “අනංගු පිට්ජන්ට්ජට්ජාරා යන්කුනිට්ජට්ජාරා” (AnanguPitjantjatjara Yankunytjatjara (APY) නම් කලාපයෙහිය.

ඔටුවන් ඕස්ට්‍රේලියාවට ආවේණික ජීවීන් විශේෂයක් නොවේ. දැන් එහි බෝවී සිටින ඔටුවන් එරටට හඳුන්වා දෙනු ලැබ තිබෙන්නේ 19 ශතවර්ෂයේ එරට ජනාවාස කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. ඔවුන් එම ඔටුවන් ගෙන්වා ගෙන තිබෙන්නේ ඉන්දියාව, ඇෆ්ඝනිස්තානය සහ මැද පෙරදිග රටවලිනි.

2019 සැප්තැම්බර් මස ආරම්භ වූ මෙම ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇත. තවත් විශාල ප්‍රමාණයක් අතුරුදන් වී ඇති අතර, නිවාස 1500ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. මේ වනවිට හෙක්ටයාර ලක්ෂ නවයක් විනාශ වී ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00