2020 ජනවාරි 11 වන සෙනසුරාදා

ලොවපුරා ගුවන් අනතුරු රැසක්!

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

මේ ගුවන් ගමන්වලට අපල කාලයකි. පසුගිය වසර පුරා වාර්තා වූයේ අනතුරු 14ක් පමණි. එහෙත් පසුගිය දෙසැම්බරයේ සිට මේ දක්වා අණතුරු ගණනාවක්ම එකපෙළට වාගේ හටගත්තේය. වසර ඇරුඹුණේ ලංකාවේද ඛේදවවාචකයක් ගැන ආරංචියත් සමඟිනි. ගුවන් හමුදා යානයක් කඩාවැටී එහි කාර්යය මණ්ඩලයේ 4 දෙනාම මියගිය පුවත රට කැළඹුවේය.

ඒ අතර අලුත්ම ආරංචිය ආවේ අමෙරිකාවට හයිරන්පාමින් ඉන්නා ඉරානය දෙසිනි. ටෙහෙරානයෙන් ගුවන් ගතකළ යුක්රේනයට අයත් මගී යානයක් විනාශ වී යාමය. සිද්ධියෙන් යානයේ සිටි සියලුදෙනාම මියගියහ. ඉරානය ඉරාකයේ අමෙරිකානු හමුදා රඳවා ඇති එල්ලයන් වෙත මිසයිල ප්‍රහාර එල්ලකර පැය කිහිපයක් තුළදී මේ යානය කඩාවැටීම සැකසංකා ඉහළ නැංවීය. යානයේ පියාසර දත්ත ඇතුළත් කළු පෙට්ටිය යානයේ නිෂ්පාදකයා වන අමෙරිකානු බෝයිං සමාගමට භාර නොදෙන බව ඉරානය ප්‍රකාශ කළේය. යානය ගිනිගත්තේ එහි එංජිමේ හටගත් ගින්නකින් යැයි ඉරානය කීවද කළුපෙට්ටිය සම්බන්ධ මත ගැටුම සිද්ධියේ සැකසහිත බව තවත් ඉහළ නැංවීය. දැන් එයට ඉරාන මිසයිලයක්ම වගකිවයුතු බව සනාථ වී තිබේ. මියගිය ගණන කාර්ය මණ්ඩලයද සමග 176කි. එහි සිට ඉරාන ජාතිකයන් ගණන 82ක්, කැනේඩියානුවන් ගණන 63කි. ස්විස් ජාතික 10ක්ද, යුක්රේනියානුවන් 11ක්ද  ඇෆ්ඝන් ජාතිකයන් 4ක්ද වූ බව වාර්තා විය.

මේ වසර මුලදීම සූඩාන මිලිටරි යානයක් ඉහළට නංවන අවස්ථාවේදී කඩා වැටීමෙන් එහි සිටි මගීන් 18ක් මියගිය අතර කුඩා දරුවන් 4 දෙනෙක්ද ඒ අතර වූහ. දෙසැම්බරය අවසන 30දා කසකස්තාන් ගුවන් යානයක් ගොඩනැගිල්ලක් මතට කඩා වැටී අනතුරට ලක්වූ අතර එහි වූ 98 දෙනාගෙන් 15 දෙනෙක් මියගියහ. දෙසැම්බර් 12 චීලියේ මිලිටරි ගුවන් යානයක් කඩාවැටී එහි වූ 38 දෙනාම මියගොස් තිබුණි. ටෙක්සාස් ගුවන්තොටුපල අසළම සිදු වූ අනතුරකින් 3න් දෙනෙක් මියගිය අතර දකුණු ඩැකෝටාවේ සිදුවූ අනතුරකින් නියමුවා ඇතුළු 9 දෙනෙක් මියගියහ. මේ සියල්ල අතර බෝයිං සමාගම තැනූ මුල්ම අභ්‍යවකාශ ටැක්සිය නමෝවිත්තියෙන් මානවරූපී රොබෝවක් සමගින් උඩුගුවනේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යන්නට ගිය ගමන වැරදී යාන්තම් නියමිත දිනට කලින් නිරුපද්‍රිතව ගොඩබාගන්නට හැකිවිය. ඒ අතර අලුත්ම ශෝකජනක වාර්තාව පැමිණියේ පැරීසියෙනි. අයිවරි කොස්ට් සිට පැමිණි යානයක පහළ රෝද කුටියේ සැඟව ආ දස හැවිරිදි දරුවෙකුගේ සීතලෙන් ගල් වූ  සිරුරක් හමුවීමත් සමඟිනි.