2020 ජනවාරි 04 වන සෙනසුරාදා

ලෝකය පුරා 2020 නව වසර පිළිගත් හැටි!

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 369

චීනයේ හොහොට් පළාතේ පාසල් දරුවන් සිය ගුරුවරුන් සමඟ හිම වැටෙන එළිමහනට බැස අලුත් අවුරුද්ද පිළිගන්න සිතුවම් ඇන්දා. ඉන්දියාවේ අහ්මදාබාද්වලත් පාසල් සිසුවෝ 31දා නව වසරට ‘ආයුබෝවන්’ කියා පිළිගන්න උත්සව පැවැත්වූවා. නේපාලයේ ගූරාන්ග් ජාතිකයන්ට අලුත් අවුරුද්ද ලබන්නේ ජනවාරි 01යි. ඔවුන් එය පිළිගන්න 31දා ඉඳලාම සම්ප්‍රදායික ඇඳුමෙන් සැරසිලා උත්සව පවත්වනවා.

ජර්මනියේ වස්තෝසෙන්වල අලුත් අවුරුද්ද පිළිගන්නේ අසුන් පිට නැගිලා ගම හරහා ධාවනයක යෙදිලා ගම ඈත කෙළවරේ පල්ලියේ 31 හවස පූජාවට එක්වීමෙනුයි. මේ උත්සවය ඔවුන් මෙවර පැවැත්වූයේ 393 වැනි වතාවටයි. ශතවර්ෂ කිහිපයකට ඉහත ගොවිපළ සතුන්ට වැළඳුන වසංගතයක් ඔවුන් මට්ටුකළේ ඒ ආකාරයටයි. එදා ඉඳන් දැන් එය සම්ප්‍රදායක් වෙලා. බ්‍රසීලයේ සාවෝ පාලෝවල අවුරුද්ද පිළිගන්නේ රේස් එකක් දුවලා. ඒකට දහස් ගණනක් එකතුවෙනවා. මේක හඳුන්වන්නේ ‘සාවෝ සිල්වෙස්ටර් රේස්’ කියලයි.

ජපානයේ ෂින්ටෝ නිකායේ පූජකවරු ඔහාරේ උත්සවය නැතිනම් මහා පිරිසුදු කිරීමේ යාච්ඤා උත්සවය පවත්වා මිනිසුන්ගේ පව් සුද්ධ කරලා අලුත් අවුරුද්දට අලුතෙන් ලැහැස්ති කරනවා. ඕස්ට්‍රේලියාව 31රෑ මහා බාලක් පවත්වනවා. සිඩ්නි වරාය පාලම සහ ඔපෙරා රඟහල අසල 31රෑ ඔවුන් පවත්වන මල්වෙඩි සංදර්ශනය ලෝක ප්‍රසිද්ධයි. මෙවරත් එය උත්කර්ෂවත් විදිහට පැවැත්වුණා. නවසීලන්තයත් 31 රෑ එළිවෙනතුරු බාල් නටනවා. එදාට රටවටා සංදර්ශන මහ ගොඩයි. එංගලන්තය පුරාත් මල්වෙඩි ගිනිකෙළි සංදර්ශන මෙදා වැහිවැහැලා.

මේ අතර සමහර රටවල් අවුරුද්දට අමුතු පන්නයේ සම්ප්‍රදායික සිරිත් - විරිත් අනුගමනය කරනවා. ග්‍රීසියේ ගෙවල් දොරකඩ ලූනූ පොදි එල්ලා තියනවා. මියගිය සමීප ඥාතීන් නැවත ඉපදීමටත් හොඳ පලදාවක් ලබාගන්නටත් මේක කෙමක්ලු! සෞභාග්‍යය සහ වාසනාව බලාපොරොත්තුවෙන් ගෙට ඇතුළු වන තැන දෙළුම් පොළොවේ ගසා බිඳ දමනවා. වැඩිපුර බීජ ඇට දොරකඩ විසිරී ඇත්නම් අවුරුද්දම වාසනාවෙන් පිරීයන බවයි ඔවුන් පිළිගන්නේ. එස්තෝනියාවේ මිනිස්සු තුළ අමුතු පිළිගැනීමක් තියනවා. ඔවුන් විස්වාස කරන්නේ අවුරුදුදා හවස කෑම ජාති 7ක්, 9ක් හෝ 12ක් අහාරයට ගත්තොත් මුළු වසර පුරා බඩකට පිරෙන්නම කන්න ලැබෙනවා විතරක් නෙමේ ඕනෑතරම් පරිවාර සම්පත්තියත් ලැබෙන බවයි. බෙල්ජියමේ 31 හවස හඳුන්වන්නේ ශාන්ත සිල්වෙස්තර් සැඳෑව හැටියට. මෙදා එහි දරුවන් පාට මෝස්තර දැමූ කොළවල තමන්ගේ අම්මාට තාත්තාට වගේම පිය සහ මවටත් සුබ පැතුම් ලිපි ලියනවා. මේ ලිපි මැදියම් රැයේ අවුරුදු ලබද්දී ඔවුන්ට ඇහෙන්නට කියවනවා. මේ සියල්ල අතර අවුරුදු උදාව සැමරීම සඳහා බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවර සුප්‍රකට කොපකබානා වෙරළ තීරයේ පැවැති අපූරු ගිනිකෙළි සැණකෙළිය කාගේත් අවධානය දිනාගත්තේය. එහිදී ටොන් 16.9ක් බරැති ගිනිකෙළි තොගයක් දල්වා ඇත. සැණකෙළිය සඳහා විදේශිකයන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් වෙරළ තීරයට රැස්ව සිටි බව සඳහන්ය.