2020 ජනවාරි 04 වන සෙනසුරාදා

තායි ගුවන් අනතුර: පරීක්ෂණ ඇරඹේ

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 19

මහා මැතිවරණයක් ආසන්නව තිබියදී තායිවානයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ෂෙන් යී මින් ඇතුළු හමුදා සාමාජිකයින් 08 දෙනෙකු ගුවන් අනතුරකින් මියගියහ. ඔවුන් ගමන් ගත් හෙලිකොප්ටර් යානය එරට තායිපේ නුවරට ආසන්න යීලාන් නමැති කඳුකර ප්‍රදේශයකට කඩා වැටීමෙන් අනතුර සිදුව ඇත. යානයේ ගමන් කළ තවත් හමුදා සාමාජිකයින් 05 දෙනෙකු තුවාල ලබා ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බ්ලැක් හෝක් වර්ගයට අයත් මෙම යානයේ 13 දෙනෙක් සිටි බව වාර්තා වේ.

එරට වේලාවෙන් උදෑසන 7.54ට තායිපේහි සොන්ග්ශාන් ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු යානය, යීලාන් ප්‍රාන්තයේ පිහිටි ඩොන්ග්ආඕ හමුදා කඳවුරේ පරීක්ෂණයක් සඳහා පියාසර කරමින් තිබූ බව (ෆොක්ස් තායිවාන්) වාර්තා කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි උදෑසන 8.22ට ගුවන් පාලන අධිකාරීන් හා යානය අතර වූ සබඳතාව බිඳ වැටීමෙන් පසු එය හදිසි ගොඩබෑමක නිරත වීමේදී මෙම අනතුරට මුහුණ පා ඇත.

සිද්ධියත් සමඟ තායි මැතිවරණ ව්‍යාපාර උණුසුම පහව ගියේය. ප්‍රධාන අපේක්ෂක යුවළම සිය මෙහෙයුම් දින 3කට අත්හැර දැමූහ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරන ත්සායි ඉංග්-වෙන්, ජනාධිපතිනිය දෙවැනි වරටත් සිය බලය රැකගැනීම සඳහා තරග වදින්නේ, චීනය සමඟ සමීප ගනුදෙනුවකට යා යුතු යැයි යන මතය දරන කුවොමින්ටාන් පක්ෂයේ හන් කුවෝ-යූ ට එරෙහිවය.

අමෙරිකානු නිෂ්පාදනයක් වන Black Hawk යානා තායිවානයේදී මීට පෙරද අනතුරට ලක්ව ඇත. 2018දී වෛද්‍යාධාර රැගෙන ඕකිඩ් දූපත වෙත ගිය මෙම යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් හයදෙනාම මියගියහ. 2016 සහ 2018දී අනතුරු සහිත ගොඩබෑම් දෙකක් සිදුවූ අතර ජීවිත හානි වාර්තා නොවීය. දැන් මෙම අනතුර පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ.