2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

පුරවැසි හටන මැද මෝදි ඡන්දත් පරාදයි

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 210

අගමැති මෝදි ද පසුගිය 26දා පැවති සූර්යග්‍රහණය නැරඹීමට කළඑළි බැස්සද වලාකුළු එයට බාධා කෙළේය. හරියටම ඔහු ගෙනා පුරවැසි පනත ප්‍රාන්ත ඡන්දවලට බාධා කළ ආකාරයටමය. නව පුරවැසි සංශෝධන පනත සම්මත වීමත් සමඟ ඉන්දියාව පුරා මේ වනවිටත් ව්‍යාප්ත වී පවතින මහජන විරෝධතා මැද ඉන්දියාවේ ජර්කාන්ද් ප්‍රාන්ත මැතිවරණයෙන් පාලක භාරතීය ජනතා පක්ෂය පරාජයට පත්විය. ආසන 81කින් සමන්විත ජර්කාන්ද් ප්‍රාන්ත මැතිවරණයේ අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 25ක් පමණි. ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය සහ ඊට සහාය දක්වන කණ්ඩායම් ආසන 46ක් දිනාගනිමින් මැතිවරණයේ ජයග්‍රහණය වාර්තා කර තිබේ.

මීට ඉහත පැවැත්වූ ප්‍රාන්ත මැතිවරණවලින් ප්‍රාන්ත 2ක් භාරතීය ජනතා පක්ෂය පරාජයට පත්ව තිබූ අතර පසුගිය 23දා ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵලය අනුව පාලක පක්ෂය පසුබැසීමක් පෙන්වා ඇත. නව පුරවැසි පනතට එරෙහි විරෝධතාවලදී මේ වනවිට පුද්ගලයන් 21කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් වැඩිදෙනා මියගොස් ඇත්තේ වෙඩිතැබීම් හේතුවෙනි. විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම මැතිවරණ ප්‍රතිඵලය හරහාද නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී ඇති මහජන විරෝධය පෙන්වන බවය.

ඉන්දියාවේ සංශෝධිත නව පුරවැසි පනත මගින් පකිස්තානය, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවලින් ඉන්දියාවට සංක්‍රමණය වූ මුස්ලිම් නොවන නීති විරෝධී සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය හිමිවන අතර එය ආගම මත පදනම්ව ජාතීන් බෙදා වෙන්කිරීමට රජය නීත්‍යානුකූල තත්ත්වයක් ගොඩනගා ඇතැයි ප්‍රගතිශීලී මතධාරීන් පෙන්වා දෙයි. මේ සම්බන්ධව නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ මෙය පීඩා විඳින්නන්ට උපකාරයක් බවය. නමුත් විචාරකයන් පෙන්වා දෙන්නේ එය මුස්ලිම්වරැන් වෙනස්කොට සැළකීමක් බවත් ආණ්ඩුව හින්දු ජාතිකවාදය මුල්කරගත් ෆැසිස්ට්වාදී ගමනක් යන බවය.