2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

චිලී නගරයක් වැනසූ මහා ලැව්ගින්නක්!

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

නත්තලට පෙර සිට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ලැව්ගිනි මාරකය දැන් අලුතෙන්ම වාර්තාවන්නේ චිලී දේශයෙනි. ලෝක දේශගුණික විපර්යාසය හේතුවෙන් ඇවිළ ගිය තවත් අනතුරු ඇඟවීමේ ගිනි ජාලාවක් ලෙස පරිසරවේදීහු මේ ගැන කියති. නත්තල් දිනයට පෙර දින චිලී රාජ්‍යයේ සුප්‍රකට වෙරළ නගරයක් වන වල්පරයිසෝ වෙත බලපෑ මෙම ලැව්ගින්න හේතුවෙන් විශාල පිරිසකට නිවාස අහිමිව ගොසිනි.

එරට දැවයෙන් තැනූ වර්ණවත් නිවාස සහිත වල්පරයිසෝ නගරයේ ගින්නෙන් විනාශයට පත් නිවාස ප්‍රමාණය 200කට ආසන්න බවත් මුළු නගරයටම ගින්නෙන් දැඩි හානි සිදුව ඇති බවත් වාර්තා වෙයි. නත්තල් සමයේදී සිදුවූ මේ මහත් විපතින් ආපදාවට පත් පිරිස නිවාසවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට බලධාරීන් සැනෙකින් කටයුතු කර තිබුණි. පළාතට බලපා ඇති අධික උණුසුම් දේශගුණ තත්ත්වය හේතුවෙන් මෙසේ ගින්න ව්‍යාප්ත වූ බවට කාලගුණ අංශ තහවුරු කරයි.

ආරක්ෂක පියවරක් ලෙස වල්පරයිසෝ නගරයේ විදුලිබලය කප්පාදු කර ඇත. මේ හේතුවෙන් අනූදහසක පමණ පිරිසක් අපහසුතාවට පත්ව තිබේ. ගින්නෙන් නිවාස අහිමි වූවන් තමන් සතු රැගෙන යා හැකි සියලු දේ සමගින් ජීවිත ආරක්ෂාව පතා පළාගොස් තිබුණි. ලැව්ගින්න පාලනය කිරීම සඳහා හදිසි සේවකයන් බොහෝ පිරිසක් යොදවා ඇතැයි නගර බලධාරීන් පවසයි. එහෙත් නගරයේ පවතින උණුසුම් කාලගුණය හා තද සුළඟ හේතුවෙන් ලැව්ගිනි තත්ත්වය වඩාත් උග්‍රවී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00