2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ලොව වටා නත්තල් අසිරිය

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 209

දේශ සීමාවේ සාදයක්!

අමෙරිකා - මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන් වී සිටින පවුල්වල සාමාජිකයන් ඒකරාශී කිරීමේ අරමුණින් දේශ සීමාව ආසන්නයේදී නත්තල් සාදයක් පවත්වා ඇත. මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් බොහෝ පිරිසක් සාදයට සහභාගීවී සිටියහ. සාදයට සහභාගි වූ ළමුන්ට කුඩා ත්‍යාගයක් පිරිනැමීමටත් සංවිධායකයන් පියවර ගෙන තිබුණි.

ග්වාතමාලාව, හොන්ඩියුරාස්, එල්සැල්වදෝර් වැනි රටවලින් පැමිණි සංක්‍රමණිකයන් දහස් ගණනක් මේ වනවිට මෙක්සිකෝවේ රැඳී සිටියි. මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ අමෙරිකාවට ඇතුළු වී එරට පුරවැසිභාවය ලබාගැනීම ඔවුන්ගේ අරමුණයි. එහෙත් මෙම සංක්‍රමණික ජනතාව භාර ගැනීමට ට්‍රම්ප් පරිපාලනය දැඩිව ප්‍රතික්ෂේප කරයි. කෙසේ නමුත් අමෙරිකාවේ වෙසෙන සංක්‍රමණික ජනතාවට සාදය පැවැත්වෙන දේශ සීමාව වෙත ළඟාවීමට අමෙරිකානු බලධාරීන් අවසර ලබාදී තිබුණේ නැත. 

සැරසිලි නගරය

ලොව වටා කතෝලික ප්‍රජාව මේ වනවිට එළඹෙන නත්තල වෙනුවෙන් ලහි ලහියේ සූදානම් වෙමින් සිටිති. මේ සමයේදී නත්තල් සැරසිලි සඳහා හිමිවන්නේ සුවිශේෂී ඉල්ලුමකි. මෙක්සිකෝවේ පිහිටි කුඩා පළාතක් වන මිචෝකන් එවන් නත්තල් සැරසිලි භාණ්ඩ නිෂ්පාදනය කරන නගරයකි. වසර පුරාවටම නත්තල් අසිරියක් උසුලන මෙම කලාපය මෙවරද නත්තල සඳහා දැන් සූදානම්ය. 

වීදුරැ යොදාගෙන සාදනු ලබන වීදුරු බුබුළු එම කලාපයේ නිෂ්පාදනය කෙරෙන සුප්‍රකටම සැරසිල්ලකි. යන්ත්‍ර සූත්‍ර අවම වශයෙන් භාවිත කරමින් සාදනු ලබන මෙම වීදුරු බුබුළු සදහා ලෝකයේ දසතින්ම ඉතා ඉහළ ඉල්ලුමක් පවතියි. එම නිෂ්පාදනවලින් සියයට 60ක් විදෙස් රාජ්‍ය වෙත අපනයන කරන අතර එම රටවල් අතරින් එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, මැලේසියාව හා යුරෝපා රටවල් ප්‍රධානය.

මිචෝකන් පළාතේ වෙසෙන බහුතරය සිය ජීවිකාව සපයාගන්නේ වීදුරු බුබුළු නිෂ්පාදනයෙනි. අද වනවිට එහි 10,000ක පමණ ප්‍රජාවක් එම කර්මාන්තයේ නිරතව සිටිති. මේ අතර ඔවුන් විසින් වසරකට වීදුරැ බුබුළු මිලියන 50කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවන බවද මෙක්සිකෝ වාර්තා වැඩිදුරටත් පවසයි.

පාවෙන නත්තල් ගස!

පාවෙන නත්තල් ගසක් පිළිබඳව බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයෙන් වාර්තා වෙයි. එම නත්තල් ගස සංචාරකයන්ගේ විශේෂ අවධානයක් දිනාගැනීමට සමත්වී ඇත. එය රියෝද ජැනයිරෝහි වෙරළාසන්නයේ වාර්ෂිකව ඉදිකරනු ලබන්නකි. නත්තල් ගස පළමු වරට ආලෝකමත් කිරීම පසුගිය සෙනසුරාදා සිදුකෙරුණි. නත්තල් ගස ආලෝකමත් කිරීමට සමගාමීව අලංකාර ගිනිකෙළි සංදර්ශනයක්ද පැවැත්විණි. 

මෙම පාවෙන නත්තල් ගස පළමුවරට ඉදිකර තිබෙන්නේ 1996 වර්ෂයේදීයි. එවක පටන් සෑම වර්ෂයකදීම එය ඉදිකරනු ලබයි. පාවෙන නත්තල් ගස නැරඹීමට වාර්ෂිකව බොහෝ පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේය. එමෙන්ම වර්ෂ අවසානයේ බ්‍රසීලයේ පැවැත්වෙන ඉසව් අතරින් දෙවන විශාලතම ඉසව්ව මෙයයි. 

දුප්පතුන්ගේ නත්තලක්!

ඉන්දියාවේ මුම්බායි නගරයේ වෙනස්ම මාදිලියක් ගැන අහන්නට ලැබේ. එය අඩුපහසුකම් සහිත දරුවන් වෙනුවෙන් පවත්වන්නකි. ඒ සඳහා බොලිවුඩ් රංගන ශිල්පීන් පිරිසක්ද සහභාගිවී සිටීම විශේෂත්වයකි. එහි සැරසිලි නිරාවරණ කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණේ බොලිවුඩ් රංගන ශිල්පීන් පිරිසකගේ සහභාගිත්වයෙන්. උත්සවයට එක්වූ බොලිවුඩ් රංගන ශිල්පිනී අනන්‍යා පාන්ඩේ, අඩුපහසුකම් සහිත දරුවන් පිරිසක් සමඟ එක්ව කේක් කපා එම අවස්ථාව සැමරුවේය.

මීට සමගාමීව නරගයේ වෙනත් ස්ථානයකදී සුපිරි බොලිවුඩ් නළු-නිළි යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල් ඇතුළු බොලිවුඩ් තරු රැසක් තවත් උළෙලකට එක්වී සිටියහ. එහි නත්තල් සැරසිලි, ඇඳුම් පැළඳුම් සහ ආභරණ ප්‍රදර්ශනයක් පවත්වා තිබේ. අලංකාර සංගීත හා මුද්‍රානාට්‍ය ප්‍රසංග කිහිපයක්ද එහිදී ඉදිරිපත් කෙරුණි.

නත්තල් - කේක් දැක්ම

දකුණුදිග බැංගලූර් නගරයේ නත්තල වෙනුවෙන් තැනූ කේක් ප්‍රදර්ශනයක් පැවැත්විණි. කෙසේ නමුත් ඒ සඳහා හින්දු දේව ප්‍රතිමා ඇතුළු නිර්මාණ රැසක්ද එක්කර තිබුණි. ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන්ගේ වැඩිදෙනාගේ අවධානය දිනාගැනීමට රුසියාවේ මොස්කව් නුවර ශාන්ත බැසිල් දේවස්ථානයේ අනුරුව සමත්විය.

මෙවර කේක් ප්‍රදර්ශනය සඳහා සාම්ප්‍රදායික ඉන්දීය අගනාකම් එක්කර තිබුණි. ඒ අතර වු කතකලී නර්තනය ඉදිරිපත් කරමින් සිටින නර්තන ශිල්පිනියකගේ අනුරැවත් එහි පැමිණි පිරිසකගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත්තේය. එමෙන්ම මනඃකල්පිත චරිත ආශ්‍රයෙන් කළ නිර්මාණත් මේ අතරින් විශේෂයි. බිලියනයකට අධික ඉන්දියානු ජනතාවගෙන් සියයට තුනක ප්‍රතිශතයක් කතෝලික ප්‍රජාව නියෝජනය කරයි.